Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල් - චමීර විශිෂ්ට පන්දු යැවීමක

ලක්මාල් - චමීර විශිෂ්ට පන්දු යැවීමක

editorial - 2021 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අනෙක් අන්තයෙන් පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දීත්, ඉතාමත් ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සිය 9 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය.

බ්‍රැත්වෙයිට්ගේ පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයේ (30 වැනිදා) දිවා ආහාරය සඳහා නතර කරන විට කොදෙව්වෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 354 ක් ලබාගත්හ.

තරගයේ පළමු දිනය (29 වැනිදා) අවසන් වන විට ශතකයට ලකුණක් මෑතින් සිටි කොදෙව් නායකයා තමන්ගේ ශතකය ලබාගැනීමට වඩා කඩුල්ල රැකගැනීමට ගැන වැඩිපුර උනන්දු වූයෙන් ශතකය ලබාගැනීම පසුවදාට කල්දැම්මේය. කිසිදු හදිසියකින් තොරව දෙවැනි දිනයේදී ශතය සම්පූර්ණ කළ ඔහු හතරේ පහර 13 කින් එය අලංකාර කළේය.

කොදෙව් පිලේ හයවැනි කඩුල්ලත් ලකුණු 185 දී ඇද වැටුණු නමුත් අල්සාරි ජෝෂප් (29) සහ රකීම් කෝන්වෝල් (73) සමග එක්ව හත්වැනි සහ අටවැනි කඩුලු දෙකට ලකුණු 140 ක් එක්කළ කොදෙව් නායකයා, ලකුණු 350 සීමාවෙන් ඔබ්බට සිය කණ්ඩායම කැඳවාගෙන ගියේය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කෝන්වෝල් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සැරසුවේය.  

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ සෘජු තීරණය වූයේ පළමුවෙන් කොදෙව් පිතිකරුවන් පිටියට යැවීමයි. එහි ප්‍රතිඵල ඉක්මනින්ම නෙළා ගත් දිමුත් කරුණාරත්න, ලකූණු 15 ක් තුළදී ජෝන් කැම්බල් මෙන්ම පළමු තරගයේදී ශතකයක් ලබාගත් නිකෲමා බෝනර් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවාගත්තේ සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීමකිනි.

11 වැනි ඕවරය නිමා වන විට කොදෙව් කණ්ඩායම ලකුණු 19 කට කඩුලු දෙකක් අහිමි කරගෙන සිටි අතර ලක්මාල්ගේ පන්දු යැවීම සටහන් වූයේ 6-6-00-2 ක් වශයෙනි. එහෙත් නායක බ්‍රැත්වෙයිට්ගේ පිතිහරඹයත් අල්සාරි ජෝෂප් සහ කොන්වෝල් දෙදෙනාගේ උත්සාහයත් හේතුවෙන් පළමු දිනය නිමා වන විට කිසියම් ගෞරවනීය ස්ථානයකට පැමිණීමට කොදෙව්වෝ සමත් වූහ.

දිනය පුරාම ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තේ පානයෙන් පසුව දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. ඒ අතරවාරයේදී රකීම් කොන්වෝල් තමන්ට හිතුණු හිතුණ අවස්ථාවලදී පන්දුව හතරේ සීමාවට යැවීය. පැය හයකට ආසන්න කාලයක් කඩුල්ලේ සිටි බ්‍රැත්වෙයිට්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 11 ක් පමණි. එහෙත් රකීම් කොන්වෝල්ගේ ලකුණු 43 හතරේ පහර 6 කින් සහ දැවැන්ත හයේ පහරකින් සමන්විත විය.

දිනය ආරම්භයේදීම සුරංග ලක්මාල් සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා කළ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොදෙව්වෝ නොසිතූ අමාරුවක වැටුණහ. කඩුල්ල එල්ලයේ තීරුවක් තෝරාගෙන ඒ මත පන්දුව පතිත කළ වේග පන්දු යවන්නන් දෙදෙනා හමුවේ පිත්ත දමන්නද නොදමන්නද යන දෙගිඩියාවට කොදෙව් පිතිකරුවෝ මුහුණ දුන්හ. කඩුල්ලට පිටතින් දිවයමින් පන්දු යැවූ විශ්ව පිතිකරුවාගෙන් ඉවතට පන්දුව දෝලනය කරමින් ඉතාම සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් සිටියදී අනෙක් අන්තයෙන් පන්දු යැවූ ලක්මාල් එහි උපරිම ප්‍රයෝජන ලබාගත්තේය. දිවා ආහාරය වන විට කොදෙව් ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 2 කට 86 ක් ලෙසිනි.

එක දිගට ඕවර 10 ක් යැවූ ලක්මාල්ගේ පළමු පන්දු යැවීම සටහන් වූයේ ඕවර 10-6-25-2 ක් ලෙසිනි. එහෙත් කයිල් මේයර්ස් ලකුණු 12 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් පැතුම් නිස්සංකගෙන් ගිළිහී නොගියා නම් සුරංගට තවත් කඩුල්ලක් දවාගත හැකිව තිබිණ.

දිවා ආහාරයෙන් පසුව යැවුණු තුන්වැනි පන්දුවේදී කයිල් මේයර්ස්ගේ පිත්තේ පිටත දාරය සොයාගත් විශ්වගේ පන්දුව කඩුලු රකින්නාගේ දෑත් අතර සැඟවී ගියේය. තේ පානයට පෙර තවත් පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වඩාත් ආක්‍රමණශීලීව තරගයට කඩා වැදුණද  බ්‍රැත්වෙයිට් නොසැලී තම ගමන ගියේය.

තේ පානයෙන් පසුව ජොෂුවා ද සිල්වාගේ උඩපන්දුව රැකගත් දික්වැල්ල මෙම ඉනිමේ සිව්වැනි උඩපන්දුවත් තමාගේ බවට පත්කර ගත්තේය. දිනයේ අවසානය ආසන්න වෙත්ම ශ්‍රී ලංකා නායකයා දෙවැනි නව පන්දුව ලබාගත් නමුත් එයින් ලද හැකි ප්‍රයෝජනයක් නොවීය.


අදහස් (0)

ලක්මාල් - චමීර විශිෂ්ට පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.