Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලංකා ප්‍රිමියර් ලීග් යළිත් කල්යයි

ලංකා ප්‍රිමියර් ලීග් යළිත් කල්යයි

editorial - 2020 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව එල්.පී.එල්. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට නිරෝධායන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සනාථ කිරීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක දිනය නැවත වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඒ අනුව මේ වසරේ නොවැම්බර් 14 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 21 දක්වා සතියකින් කල් දමා තිබේ.

නිරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා අවකාශය නිර්මාණය කරන අතරම, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙත පිවිසීමට අවස්ථාවක් ලබා දීම ද තරගාවලිය කල්දැමීමේ අරමුණවී ඇත. ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවී ඇති ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙත පිවිසීමට ප්‍රමාණවත් කාලයක් හිමිවනු ඇත.

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය නොවැම්බර් 03 වැනිදා අවසන් වෙනවා. අයි.පී.එල්. තරගාවලියට සහභාගිවී සිටින ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියටත් සහභාගිවීමට කැමති නම් ඒ සඳහා ඔවුන්ට යම් ඉඩක් තබා ගැනීමට අපි සිතුවා” යැයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග අධ්‍යක්‍ෂක රවින් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ අනුව, ඔක්තෝබර් 1 දා පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසීයද ඔක්තෝබර් 9 දක්වා කල් දමා තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කණ්ඩායම් පහකින් සමන්විත වන අතර සෑම කණ්ඩායමකටම ජාත්‍යන්තර ක්‍රීඩකයින් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 13 දෙනෙකු සමගින් ක්‍රීඩකයින් 19 දෙනෙකු මිලදී ගැනීමට හැකිය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතුරින් දැනට නම්කර ඇත්තේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම පමණි. පාකිස්තානු සමාගමක් විසින් ගාල්ල ග්ලැඩියේටර් කණ්ඩායම මිලදී ගෙන ඇති අතර පාකිස්තානු පිලේ හිටපු නායක සහීඞ් අෆ්රීඩි එහි සුවිශේෂී ක්‍රීඩකයා ලෙස නම්කර තිබේ.

කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර නාම සහිතව තවත් කණ්ඩායම් 4 ක් මෙම තරගාවලියට එක්වීමට නියමිතව ඇතත් එම කණ්ඩායම් මිලද ගැනීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැත. තරගාවලියේ සියළුම තරග පල්ලේකැලේ, රංගිරි දඹුල්ල සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතව ඇත.

- 2079

 


අදහස් (0)

ලංකා ප්‍රිමියර් ලීග් යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.