Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රූට් - වෝක්ස් එංගලන්තයට ජය ගෙනෙති

රූට් - වෝක්ස් එංගලන්තයට ජය ගෙනෙති

editorial - 2021 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස 9 කට පසුව එක්දින තරගයකට ක්‍රීඩා කළ ජෝ රූට්ගේ (නොදැවී 79) පිතිහරඹයත්, ක්‍රිස් වෝක්ස්ගේ (18/4) විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අද (29 වැනිදා) පැවැති පළමු  එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 5 ක පහසු ජයක් ලබාගත්තේය. ඩර්හැම් ප්‍රාන්තයට අයත්, චෙස්ටර් ලී ස්ටී්‍රට්හි පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් එංගලන්ත කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.

ලකුණු 186 ක පහසු ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3 ක් දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත් වූ නමුත් ජෝ රූට් පන්දු 91 ක් (ඕවර 15.1 ක්) ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම නිරුපදි්‍රතව ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. තම 150 වැනි එක්දින තරගයේදී පන්දු 87 කට මුහුණ දුන් එංගලන්ත ටෙස්ට් නායකයා, පන්දු 4 ක් පමණක් හතරේ සීමාවෙන් එපිටට යැවූ නමුත් එංගලන්ත ඉනිමේ දැවැන්ත කුළුණක් ලෙසින් නොසැලී නැඟී සිටියේය.

සත්කාරකයන් වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ සහ ලයාම් ලිවිංග්ස්ටන් පන්දු 29 කදී ලකුණු 54 ක් එක්කළහ. එහෙත් 4 වැනි කඩුල්ල ලකුණු 80 දී බිඳ වැටීමත්, ඊළඟ පන්දුවේදී උඩපන්දුවක් ගිළිහී යාමත් ගැන අවධානය යොමුකළ ජෝ රූට් සහ මොයින් අලී දෙදෙනා තරමක් ආරක්‍ෂාකාරී පිතිහරඹ රටාවක් අනුගමනය කළහ. එතැන් සිට ඕවර 5 දීම ඔවුන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 18 ක් පමණි.

අවදානම පහව ගිය පසුව නැවත වරක් ලකුණු දඩයමට අවතීර්ණ වූ රූට් තමන්ගේ සුපුරුදු පිතිහරඹයේම යෙදෙද්දී මොයීන් අලි ප්‍රහාරය ආරම්භ කළේය. සංචාරය පුරාම සාර්ථක පන්දු යැවීමක යෙදෙන දුෂ්මන්ත චමීර තුන්වැනි කඩුල්ලත් දවාගත් නමුත් තනි අතින් එංගලන්තය නතර කිරීමට ඔහුට නොහැකි විය.

විස්සයි-20 තරගාවලියේදීත් අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනකුම අහිමි කරගනිමිනි. උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ල තිදෙනාම විනය කඩ කිරීමේ හේතු මත නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කර එවනු ලැබිණ. ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වාගේ සේවයත් කණ්ඩායමට අහිමි විය.

දහසකුත් එකක් ප්‍රශ්න මැද පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා වගකීම කරට ගත් හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185 ක් ලබාගත්තේය. පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වූ නමුත් පිතිකරුවන් අග හිඟ වූ ශ්‍රී ලංකා පිලට අගනා අස්වැසිල්ලක් වූ වනිඳු හසරංග සිය දෙවැනි එක්දින අර්ධ ශතකය ලබාගනිමින් නායක කුසල් පෙරේරා සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද ඔහුගෙන් පසුව එකම ශ්‍රී ලංකා පිතිකරුවකුට හෝ අපේක්‍ෂිත දස්කම් දැක්විය නොහැකි විය.

එංගලන්තය වැනි පළපුරුදු කණ්ඩායමක් හමුවේ ලකුණු 185 ක් යනු සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් නොවේ.  මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් වන හෙයින් මෙම තරග වලදී ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගයද වැදගත් කමක් ගනී.

කුසල් සහ හසරංග දෙදෙනා ඕවරයකදී ලකුණු 5.00 ක ලකුණු වේගයක් පවත්වාගෙන ගිය නමුත් හසරංගගේ දැවී යාමත් සමගම එංගලන්ත පන්දු යවන්නෝ තරගය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළහ. ක්‍රිස් වෝක්ස්ගේ බවුන්සර් පන්දුවට ගැසිය යුතු පහර හසරංග විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව පන්දුව අපේක්‍ෂා කළාට වඩා ඉහළ නැංගේය. එහෙත් හසරංගට තීරණය වෙනස් කළ නොහැකි වූයෙන් පිත්තේ වැදී ස්ක්වෙයාර් ලෙග් කලාපයට ගිය උඩපන්දුව ලයාම් ලිවිංග්ස්ටන්ගේ විසින් විශිෂ්ට අන්දමින් රැකගන්නා ලදි.
ක්‍රිස් වෝක්ස් සිය පළමු පන්දු යැවීමේ වාරය අවසන් කළේ 5-4-06-2 ක් ලෙසිනි. තරග නිමා වන විට සිය ඕවර 10 න් කඩුලු 4 ක් දවාගත් දකුණත් පන්දු යවන්නා, ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 18 ක් පමණි.

සිය 15 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරාගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. අදිල් රෂීඩ්ගේ පිට පිට පන්දු 4 කින් තුනක්ම හතරේ සීමාවට යැවූ වනිඳු හසරංග සිය එක්දින තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 57 කිනි. අලංකාර හතරේ පහර 6 ක් සහ චිත්තාකර්ශනීය හයේ පහරක් ඊට ඇතුළත් වී තිබිණ.

අවසන් ඕවර කිහිපයේදී උමතු වූවන්සේ කඩුලු අතර දිවගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ 43 වැනි ඕවරයේදී ඉනිම අවසන් කරගත්හ. අවසන් කඩුලු 7 ම ලකුණු 40 කට අහිමි කරගත් ශ්‍රී ලංකා ඉනිමේ දුවද්දී දැවී යාම් දෙකකි.

 


අදහස් (0)

රූට් - වෝක්ස් එංගලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.