Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රූට් - වෝක්ස් එංගලන්තය දිනවති

රූට් - වෝක්ස් එංගලන්තය දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජෝ රූට්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 44.2 ක් අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. පන්දු 58 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 46 ක් රැස්කළ නායක ජෝ රූට්, එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ජොස් බට්ලර් (42) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රූට්, ඉන් නොනැවතී ක්‍රිස් වොක්ස් (නොදැවී 39) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 47 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ජොනී බෙයාස්ට්‍රෝ (60) සහ ඇලෙක්ස් හේල්ස් (57) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 56 කදී වාර්තා වූ බෙයාස්ට්‍රෝගේ අර්ධ ශතකයට හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 60 කදී වාර්තා වූ හේල්ස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.  දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වුවද, එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ඒරන් ෆින්ච් (106) සමත් විය. පන්දු 114 කට මුහුණදුන් ෆින්ච්, සිය 10 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් අලංකාර කළේය. මෙය ෆින්ච් පිට පිටම ලබාගත් දෙවැනි ශතකයද විය.

ඬේවිඞ් වෝනර් (35) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 68 ක සම්බනධතාවක් ගොඩනැගූ ෆින්ච්, ඉන් නොනැවතී මිචෙල් මාෂ් (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 85 ක සම්බනධතාවක්ද ගොඩනමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

මෙම තරගයේදී පන්දු යවන්නකු ලෙසද සාර්ථන වූ එංගලන්ත නායක ජෝ රූට් ඕවර 7 ක් යවමින් ලකුණු 31 කට ස්ටීවන් ස්මිත් සහ ට්‍රැවිස් හෙඩ් පිටියෙන් ඉවත් කළේය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 270  
(ඬේවිඞ් වෝනර් 35, ඒරන් ෆින්ච් 106, ස්ටීවන් ස්මිත් 18, මිචෙල් මාෂ් 36, ඇලෙක්ස් කේරි 27, ආදිල් රෂීඞ් 71/2, ජෝ රූට් 31/2)

එංගලන්තය - ඕවර 44.2 කදී කඩුලු 6 ක් දැවී 274
(ජොනී බෙයාස්ට්‍රෝ 60, ඇලෙක්ස් හේල්ස් 57 ජෝ රූට් නොදැවී 46, ඔයින් මෝගන් 21, ජොස් බට්ලර් 42, ක්‍රිස් වොක්ස් නොදැවී 39, මිචෙල් ස්ටාක් 59/4, ජේ රිචඞ්සන් 57/2)


- 036

 


අදහස් (0)

රූට් - වෝක්ස් එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.