Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් වසර දෙකක පුහුණුවට කෝටි 6 ක් ඉල්ලයි

යුපුන් වසර දෙකක පුහුණුවට කෝටි 6 ක් ඉල්ලයි

editorial - 2022 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉදිරි වසර දෙකක පුහුණුවීම් සඳහා තමන්ට ඇමරිකානු ඩොලර් 160,000ක් ලබාදෙන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කම්ලාභි ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඒ සඳහා ඇමරිකානු ඩොලර් 120,000ක් ලබාදීමට යුපුන්ට එකඟවී තිබේ.

යුපුන් ඉල්ලා ඇති ඩොලර් 160000ක මුදල වත්මන් විනිමය අනුපාත ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි අසූහතර ලක්ෂයකට (58400000) ආසන්න මුදලකි.

යුපුන් අබේකෝන් සමග පැවැති මූලික සාකච්ඡාවල දී ඔහු මෙම වියදම් ඉදිරිපත් කර තිබේ. මෙම වියදම් යුපුන් අබේකෝන්ට අනුමත කිරීම සම්බන්ධයෙන් උපදෙස් හා නිර්දේශ ලබාදෙන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා තිබේ. ඒ අනුව ඉතාලියේ ජීවත් වන යුපුන් ‘සූම්’ තාක්ෂණය ඔස්සේ එම කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.

එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් යුපුන් ඊට පෙර ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ස්විට්සර්ලන්තයේ පැවැති තරගාවලියක දී මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 9.96 කට නිමා කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙමිනි.

මේ අතර යුපුන්ගේ පෞද්ගලික නිත්‍ය පුහුණුකරු ලෙස දැනට කටයුතු කරන ඉතාලි ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ක්ලෝමියෝ ලිකියාඩෙලෝ මහතාගෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යංශය කළ ඉල්ලීමක් පරිදි එරටදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකුට නේවාසික පුහුණුවීම් ලබාදීමට එකඟවී තිබේ. එහිදී පළමුව දෙදෙනකු යුපුන් සමග සමගාමී පුහුණුවීම් ලබාදීම සඳහා එරටට යොමු කරන ලෙසත් ලිකියාඩෙලෝ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැති උත්සවයක දී ක්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ ජාතික ක්‍රීඩා සභාවට පැමිණ වගකීම් බාර ගන්නා ලෙස ජාත්‍යන්තර පදක්කම්ලාභින් රැසකගෙන් තමන් කළ ඉල්ලීම්වලට ඔවුන් වැඩි දෙනකු ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව තමා දැඩි වේදනාවට පත්වූ බවයි.

කෙසේ වුවත් එවැනි අවස්ථාවකදී අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරය බාර ගැනීමට ඉදිරිපත්වීමෙන් පසු රටේ ක්‍රීඩාවට උපරිම සාධාරණයක් කිරීමට දායකවී තිබෙන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා අර්ජුන රණතුංග මහතා අතර හමුවක්ද එහිදී සිදුවිය.


අදහස් (0)

යුපුන් වසර දෙකක පුහුණුවට කෝටි 6 ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.