Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුරලිට ස්ටෙන්ට් 3 ක්

මුරලිට ස්ටෙන්ට් 3 ක්

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

--------------------
දමින්ද විජේසූරිය
--------------------

ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේදී හදිසි ශල්‍යකර්මයක් සඳහා මුහුණ දුන් ශ්‍රී ලංකා පිලේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ස්ටෙන්ට් 3 ක් යෙදා ඇතැයි ඔහුගේ සමීපතමයකු වන කුෂිල් ගුණසේකර මහතා කියයි.

ශ්‍රී ලංකාවේදී කරන ලද මූලික පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී තිබුණේ මුරලිදරන්ගේ හෘද නාල 3 ක් අවහිර වී තිබූ බවයි. එහෙත් වෛද්‍යවරුන්ගේ අදහස වූයේ ඖෂධ මගින් තත්ත්වය පාලනය කරගත හැකිය යන්නයි. කෙසේ වෙතත් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් හිමි සිය බිරිඳගේ පාර්ශ්වයේ වෛද්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් අනුව ඊයේ (18 වැනිදා) චෙන්නායි නුවර ඇපලෝ රෝහලට ඇතුළත් වූ මුරලිදරන්ට ස්ටෙන්ට් 3 ක් දමා ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් ස්ථාවර කරගනු පිණිසය.

“මුරලිට හෘදයාබාධයක් නෑ.. අඩු ගානේ ඒ වගේ රෝග ලක්ක්‍ෂණ වත් තිබිලා නෑ. එයා රෝහල්ගත වුණේ සාමාන්‍යයෙන් කරන වෛද්‍ය පරීක්‍ෂණයකට” යයි පැවසූ ගුණ-ජය-සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා...

“එයාට ස්ටෙන්ට් තුනක් දාලා තියෙන්නේ තත්ත්වය වඩාත් හොඳින් පාලනය කරගන්නයි. මුරලි ඉතාමත් හොඳ තත්ත්වයකින් ඉන්නවා. එයා ඊයේ සවසත් අද උදේත් මට කතා කළා... දැන් එයා නිරෝධායනව වෙමින් ඉන්නවා” යයිද පැවසීය.

හෘද රෝග විශේෂඥ ඩී. සෙන්ගොත්තුවේලු මහතා මුරලිදරන්ගේ ශල්‍යකර්මය කර ඇත. චෙන්නායි රෝහලෙන් නිකුත් කරන ලද නිවේදනයකයට අනුව ඔහුගේ සැත්කම ඉතාමත් සාර්ථක එකක් වන අතර ඔහුට රෝහලෙන් නික්ම ගිය පසුව සිය සාමාන්‍ය කටයුතු ආරම්භ කළ හැකිය. කෙසේ වෙතත්  අයි.පී.එල්. තරගාවලියේ සම්මත මෙහෙයුම් නිර්දේශමාලාව අනුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග එක්වීමට පෙර දින 6 ක නිරෝධායන කාලයක් ගතකිරීමට මුරලිදරන්ට සිදුවෙයි.

මුරලිදරන් රෝහල්ගත කරන ලද්දේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින් කටයුතු කරන අතරතුරය. සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස මුරලිදරන් කටයුතු කරයි.

මුත්තයියා මුරලිදරන් සිය 49 වැනි උපන්දිනය සැමරුවේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කීර්තිධරයන්ගේ නාමාවලියට එක්ව සිටින එකම ශ්‍රී ලාංකිකයා වන මුත්තයියා මුරලිදරන්, අන්තර්ජාතික තරග වලදී කඩුලු 1347 දවාගෙන තිබේ. ඒ අතර ටෙස්ට් කඩුලු 800 ක්, එක්දින කඩුලු 534 ක් සහ විස්සයි-20 කඩුලු 13 ක් වෙයි

 

 

 


අදහස් (0)

මුරලිට ස්ටෙන්ට් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.