Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ 5 වැනි අයි.පී.එල්. ශූරතාව දිනති

මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ 5 වැනි අයි.පී.එල්. ශූරතාව දිනති

editorial - 2020 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ශර්මාගේ නායකත්වයේ පිතිහරඹය හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම ශූරතාවත් සමග මෙතෙක් පැවැති අයි.පී.එල්. තරගාවලි 13 න් 5 කම ශූරයන් බවට පත්වීමටද මුම්බායි කණ්ඩායම සමත් විය.

අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වී වසර 5 ක් ගතවීමෙන් පසු එනම් 2013 වසරේදී සිය පළමු ශූරතාව දිනාගත් මුම්බායි කණ්ඩායම, ඉන් අනතුරුව 2015, 2017 සහ 2019 යන වසරවලදීද එම ශූරතාවට හිමිකම් කීවේය. එම ශූරතා 5 සඳහාම මුම්බායි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ රෝහිත් ශර්මා විසිනි. 2017 වසරේදී මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස මුම්බායි කණ්ඩායමට එක්වීමෙන් පසු ගත වූ වසර 4 තුළ ඔවුන් ජයගත් තෙවැනි ශූරතාවද මෙය විය.

මුම්බායි කණ්ඩායම මෙවර (2020) තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේ අඟහරුවාදා (10 වැනිදා)  ඩුබායිහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගය කඩුලු 5 කින් ජයගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩ‍කයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

එහිදී වේගවත් පිතිහරඹය නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 51 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 68 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ක්වින්ටින් ඩි’කොක් (20) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 45 ක වේගවත් සම්බන්ධතාවක් ගොනැගීමටද ශර්මා සමත් විය. පන්දු 12 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

ඉන් අනතුරුව සුර්යකුමාර් යාදව් (19) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 45 ක්ද, ඉෂාන් කිෂන් (නොදැවී 33) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 47 ක්ද එක්කළ රෝහිත් ශර්මා කෙමෙන් කෙමෙන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 19 කට මුහුණදුන් කිෂන්, හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග තරමක් වේගයෙන් ලකුණු රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 156 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට නායක ශ්‍රෙයාස් අයියර් (නොදැවී 65) සහ රිෂාබ් පාන්ට් (56) සමත් වූහ. ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අයියර් සහ පාන්ට් දිල්ලි ඉනිමට නව ජවයක් එක් කළහ.

පන්දු 50 කට මුහුණදුන් අයියර් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 38 කදී වාර්තා වූ පාන්ට්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය. ඔවුන් දෙදෙනා හැරුණුකොට දිල්ලි පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූයේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් (15) පමණි.

දිල්ලි කණ්ඩාමේ සෙසු පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බොල්ට් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. දිල්ලි පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා බෝල්ට්ට අනගි සහායක් දුන නේදන් කූල්ටර් නයිල් ලකුණු 29 කට කඩුලු 2 ක් බිඳ‍හෙළීය‍.  

මෙම තරගයේදී කිරන් පොලාඩ්ගේ කඩුල්ල බිඳහෙළමින් මෙවර තරගාවලිය තුළ දවාගත් කඩුලු සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ දමාගත් කගිසෝ රබාඩා, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස දම් පැහැති හිස්වැසුම දිනාගත්තේය‍. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තැඹිලි පැහැති හිස්වැසුම දිනාගනු ලැබුවේ ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 670 ක් රැස්කළ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල් විසිනි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් ස්ථානය හිමිවුවද, එම කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆර් ආචර්  තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. තරග 14 කදී කඩුලු 20 ක් දවාගනිමින්, නිලකුණු පන්දු 175 ක් යවමින්, උඩ පන්දු 5 ක් රැකගනිමින් සහ හයේ පහර 10 ක් එල්ල කරමින් තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට එම සම්මානය හිමිවිය.

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 156

(ශිකර් ධවාන් 15, ශ්‍රෙයාස් අයියර් නොදැවී 65, රිෂාබ් පාන්ට් 56, ට්‍රෙන්ට් බෝල්ට් 30/3, නේදන් කූල්ටර් නයිල් 29/2)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 18.4 කදී කඩුලු 5 කට 157

(රෝහිත් ශර්මා 68, ක්වින්ටින් ඩි’කොක් 20, සූර්යකුමාර් යාදව් 19, ඉෂාන් කිෂන් නොදැවි 33, ඇන්රික් නොයේ 25/2)

 

-036  


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ 5 වැනි අයි.පී.එල්. ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.