Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මතීෂට - දුෂාන්ට එක්දින වරම් ?
පළමු එක්දින තරගය

මතීෂට - දුෂාන්ට එක්දින වරම් ?

editorial - 2023 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (2 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට එක්දින වරම් දිනාගැනීමට වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය. තරගය හෙට පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතය. 

පළමු තරගයට පෙර දිනයේ (1 වැනිදා) පුහුණු සැසිය නිමා කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ඒ බව කියා සිටි අතර ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ ප්‍රවීන ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළිත් එක්දින කණ්ඩායම සමග එක්වීම කණ්ඩායමේ ශක්තිය මෙන්ම මානසික ඒකාග්‍රතාව වර්ධනය කරන්නක් බවද එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය. 

“දුෂාන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. ප්‍රධාන දඟ පන්දු යවන්නෙක් විදියට ක්‍රීඩා කරන්න. වනිඳුගෙ ආබාධ තත්වය නිසා තමයි ඇවිල්ලා තියෙන්නෙ. ඒ නිසා මං හිතන්නෙ දුෂාන්ට අවස්ථාවක් තියෙයි හෙට තරගයට ක්‍රීඩා කරන්න. මතීෂ කියන්නෙ අවුරුදු 17 න් පහළ ඉදලම ශ්‍රී ලංකාව නියෝජනය කරපු කෙනෙක්. ඒත් අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීම තුළින් තමයි ඔහු වඩාත් කැපී පෙනුනෙ. මේ තරගාවලියෙදිත් ඔහුව අනිවාර්යෙන්ම යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද දසුන් සඳහන් කළේය.  

ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ, මේ වන විට විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කඩුලු 2 ක් බිඳහෙළා ඇත. ඉකුත් සතියේදී නිමාවට පත්වූ අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරග 13 කදී කඩුලු 19 ක් බිඳහෙළීමටද මතීෂ සමත් විය. 

විසිනම වැනි වියේ පසුවන දුෂාන් හේමන්ත මේ දක්වා කෝල්ට්ස්, බදුරලිය, නාවික හමුදාව, සැරසන්ස් සහ බී.ආර්.සී. යන ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පළමු පෙළ එක්දින තරග 58 කදී කඩුලු 64 ක් දවාගෙන ඇති අතර ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග එහිදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1114 කි. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය සටහන් වන්නේ 22.25 ක් ලෙසිනි. 

“ඇන්ජි අයියා (ඇන්ජලෝ මැතිව්ස්) නවසීලන්තෙදිත් අපිත් එක්ක හිටියා. අපි ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් දෙදෙනාගේ (මැතිව්ස් සහ දිමුත්) සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා. මොකද දිමුත් ටෙස්ට් කැප්ටන්. අවුරුදු ගානක් තිසේසෙ හොඳටම ක්‍රීඩා කරා. ඒත් පහුගිය කාලෙ ගොඩක් තරුණ ක්‍රීඩකයන්ව අත්හදා බලපු හින්දා තමයි ඔවුන් දෙන්නවම යෙදාගන්න බැරි වුණේ. ඉතින් මම හිතනවා ඔවුන්ගේ පැමිණිම කණ්ඩායම තවත් ශක්තිමත් කරාවි කියලා.” යැයිද දසුන් කියා සිටියේය. 

ආබාධ තත්වයක් හේතුවෙන් ඇෆ්ඝනිස්ථාන පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි තරගය සඳහා සහභාගි නොවන නමුත් මුජිබුර් රහමන්, මොහොමඩ් නබී සහ නූර් අහමඩ් වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඇෆ්ඝනිස්ථාන දඟ පන්දු යැවීමේ බලෑණිය පිළිබඳව තමා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් සැහැල්ලුවෙන් නොසිතනා බවද මාධ්‍ය හමුවේදී දසුන් වැඩි දුරටත් සඳහන් කළේය. 

ශ්‍රී ලංකා සංචිතය 
දසුන් ශානක (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කසුන් රාජිත, මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත 

ඇෆ්ඝනිස්ථාන සංචිතය 
හෂ්මතුල්ලා ශහිදි (නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්රාන්, රාමට් ෂා, නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබී, හෂ්මතුල්ලා ශහිදි, අස්මතුල්ලා ඔමර්සායි, මුජිබුර් රහමන්, නූර් අහමඩ්, ෆරීඩ් අහමන් මලික්, ෆසාල්හක් ෆරූකි, ඉක්‍රම් අලිඛිල්, අබ්දුල්ලා රහමන් සහ රියාස් හසන් 

 


අදහස් (0)

මතීෂට - දුෂාන්ට එක්දින වරම් ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.