
(නාමල් පතිරගේ )
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණයේදී සභාපති ධුරයට තරග වදින තමා රටේ ක්‍රීඩකයන්ට හිත කර වටපිටාවක් එහි ගොඩ නැගීමට අපේක්ෂා කරන බව කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී එම කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පිරීස් මහතා පැවැසීය.
ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2026 -30) ලබන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ සදහා නාමයෝජනා භාර ගැනීම ලබන අප්‍රේල්11 වැනිදා අවසන් වේ. එහිදී සභාපති ධුරයට තමන් නාමයෝජනා භාරදෙන බවත් එහිදී තම කණ්ඩායම නාමයෝජනා භාරදීමෙන් පසුව එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් පෙරේදා (31) පැවැති එම මාධ්‍ය හමුවේදී පීරිස් මහතා පැවැසීය. ඒ මහතා කොළඹ නෙළුම් කුළුන මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
"දැන්ම මගේ කණ්ඩායමේ නාමයෝජනා ප්‍රකාශ කළොත් ප්‍රති පාර්ශව අපිට ප්‍රශ්න දාන්න පුළුවන්. ඒ හින්දා නියමිත කාලයේදී එය ප්‍රකාශයට පත් කරනවා."යයිද එහිදී ෂිරන්ත පීරිස් මහතා පැවැසීය.
මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026-30) සභාපති ධුරයට ශිරන්ත පීරිස් මහතා හැරෙන්නට එහි සෙසු උප සභාපත්වරුන් වන දේවා හෙන්රි, අසංග සෙනවිරත්න හා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් යන මහත්වරුන් නාම යෝජනා භාරදීමට සූදනම්ව සිටින බව වාර්තාවේ.
ශිරන්ත පීරිස් මහතාගේ පාර්ශවයෙන් කමිටුවේ මහ ලේකම් ධූරයට වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමි හා ජස්වර් උමාර් මහතාගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිෂාන්ත පියසේන යන මහත්වරුන් නාමයෝජනා භාරදීමට නියමිතව ඇතැයිද වාර්තාවේ.
මාධ්‍යවේදින්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් ශිරන්ත පීරිස් මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසීය.
" තවත් අපේක්ෂකයන් පිරිසක් සභාපති ධුරයට තරග වදින බව ප්‍රකාශවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ මතය වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී ලකෂණයක් කියලයි. ඔවුන් කවුරු වුණත් මට එය අභියෝගයක් නොවන බවත් මම කියන්න කැමැතියි.
මගේ අපේක්ෂාව වන්නේ ජාතික ඔලිම්පික් කමිටුව තුළ රටේ ක්‍රීඩකයන්ට හිතකර වටපිටාවක් නිර්මාණය කරමින් ඔවුන්ට නගා සිටුවන්නයි. මාලිමා ආන්ඩුවේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ආශීර්වාදය මට ඒ සදහා ලැබෙනවා කියලා මතයක් සමහරු හදන්න උත්සහ කළත් මම ඒ පස්සේ යන්නේ නෑ.
ජාතික ඔලිම්පික් කමිටුව රට යන ක්‍රීඩකයන්ට නිලධාරීන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන ට්‍රැවල් ඒජන්සියක් ලෙස තවදුරටත් පවත්වා ගෙන යායුතු නෑ. ඉන් එහාට පුළුල් වැඩ පිළිවෙලක් ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. කමිටුවේ දිය වෙමින් තිබෙන අරමුදල් යළි ගොඩ නැගීමත් මගේ ප්‍රධාන අපේක්ෂාවක්"
මාධ්‍ය හමුවේදී ශිරන්ත පීරිස් මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමද එහිදී සිදු කෙරුණි.
සංගම් අතර මත භේද දුරුකර කමිටුවේ එක්සත් බව ආරක්ෂා කිරීම, ඔලිම්පික් වටිනාකම් හා මූලධර්මයන් ආරක්ෂා කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශය හා රජය සමග පවතින සහයෝගිතාව ආරක්ෂා කිරීම, ජාතික ඉලක්ක හා ජාත්‍යන්තර පිළිගැනීම ප්‍රමුඛතාාවය බවට පත් කිරීම, මාස තුනකට වරක් ප්‍රරවර්ධනය වන කමිටුවේ සංගම් වෙනුවෙන් විනිවිද හා විවෘත මූල්‍ය පාලන ක්‍රමවේදයක් හදුන්වාදීම, දක්ෂතාවය හා සුදුසුකම් පමණක් සළකා බැලෙන වැඩසටහන් එළි දැක්වීම, සමානාත්මතාවය බල ගැන්වෙන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය හා ආරක්ෂාව ශක්තිමත් කිරීම, පුහුණුකරුවන් සදහා කුසලතා වර්ධනය කිරීමේ වැඩ සටහන් දියත් කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ජාතික ක්‍රීඩා සම්මේලන වෙනුවෙන් ඔලිම්පික් නිවහන තුළ කාර්‍යාල ඒකකයක් ස්ථාපිත කිරීම ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත්ව තිබේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.