
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව අබිබවා බංග්ලාදේශය ඉහළට ගොස් තිබේ. වාර්ෂික යාවත්කාලීන කිරීමේදී බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රසාද ලකුණු 7 ක් එක්වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 8 ක් අහිමි වී තිබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු 61 ක් ලබාගෙන ඇති බංග්ලාදේශය 9 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය සඳහා ඉදිරියට පැමිණ ඇති අතර ප්‍රසාද ලකුණු 47 ක් ලබාගත් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන කාන්තා විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණක් හිමිවී ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 202 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයට පත්ව සිටී.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින හා විස්සයි 20 තරග අංශ දෙකේදීම කාන්තා කණ්ඩායම් ශේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත්වී ඇත. ඒ අනුව ඕස්ටේ්‍රලියාව එක්දින ශ්‍රේණිගත කිරිම්හී ප්‍රසාද ලකුණු 160 ක් ලබාගෙන ඇති අතර විස්සයි20 ශ්‍රේණිගත කිරීම් සඳහා ප්‍රසාද ලකුණු 291 ක් ලබාගෙන ඇත. එක්දින ශ්‍රේණිගත කිරීම්හී ප්‍රසාද ලකුණු 121 ක් ලබාගත් ඉන්දියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 119 ක් ලබාගත් එංගලන්තය තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
නවතම යාවත්කාලීන කිරීමේදී සිදුවූ අනෙක් කැපී පෙනෙන වෙනස්කම වූයේ නවසීලන්තය අභිබවා දකුණු අප්‍රිකාව සිව්වන ස්ථානයට පත්වීමයි. නවතම යාවත්කාලීන කිරීමේදී ප්‍රසාද ලකුණු 6 ක් දකුණු අප්‍රිකාවට හිමිවූ අතර ඒ සමගින් සම්පූර්ණ ප්‍රසාද ලකුණු 107 ක් ඔවුන්ට හිමිවිය. නවසීලන්තයට ප්‍රසාද ලකුණු 9 ක් අහිමිවූ අතර ඒ සමගින් සම්පූර්ණ ප්‍රසාද ලකුණු 94 ක් දක්වා ඔවුන් පහත බැස්සේය.
විස්සයි20 ශේණිගත කිරීම්වල විශාලතම දියුණුව වාර්තා කර ඇත්තේ ස්ථාන 11 කින් ඉදිරියට පැමිණෙමින් 27 වන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයයි. අනෙකුත් කණ්ඩායම් අතර සැමෝවා ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් 16 වැනි ස්ථානය දක්වාත්, ඉන්දුනීසියාව ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් 20 වැනි ස්ථානය දක්වාත්, ඇමරිකා එක්සත් ජනපදය ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් 31 වැනි ස්ථානය හිමිකර ගනිමින් කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත.
කණ්ඩායම් තුනකට විස්සයි20 ශේණිගත කිරීමේ ලැයිස්තුවේ ස්ථානය අහිමි වී ඇත. 2017 ඔක්තෝම්බර් මාසයේ සිට ඩෙන්මාර්කය සහ බෙල්ජියම කිසිදු තරගයකට ක්‍රීඩා කර නොමැති අතර කටාර් රාජ්‍යය එම කාලය තුළ අවශ්‍ය තරග හයට වඩා අඩුවෙන් ක්‍රීඩා කර ඇත.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.