Last Update  :  2025-11-10 07:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි නිලධාරීහු අමාත්‍යාංශයට අකීකරැ වෙති

පාපැදි නිලධාරීහු අමාත්‍යාංශයට අකීකරැ වෙති

editorial - 2021 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අප්‍රේල් 6 වැනිද‌ා පැවැති නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවට  එහි ලිපිගොනු හා පරිගණක බාරදීම හිටපු නිලධාරීහු ප්‍රතික්ෂේප කරති. සම්මේලනයේ කටයුතු නිල වශයෙන් නව විධායක සභාවට පවරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමට පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීන් ප්‍රතිචාර දක්වා ඇත්තේ එලෙසය.

එහිදී හිටපු නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමෙන් අප්‍රේල් 6 වැනිද‌ා පැවැති පාපැදි සම්මේලනයේ නිලවරණයෙන් පත් වූ නව විධායක සභාව තමන් පිළිනොගන්නා බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව මින් ඉදිරියේදීත් තමන් විසින් මෙහෙයවනු ලබන බවත් පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීහු කියති.

ඒ සඳහා අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ හා ආසියානු පාපැදි සම්මේලනයේ අනුමැතිය තමන්ට ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීහු කියති.

මේ අතර අන්තර්ජාතික පාපැදි විනිසුරැ එන්. කරැණාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාපැදි සම්මේලනයේ 2018–20 නිල කාලය පවත්වාගෙන ගිය විධායක සභාව අප්‍රේල් 6 වැනිද‌ා පැවැති නිලවරණය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබේ. එහිදී ඔවුන් අවධාරණය කරන්නේ ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණය මෙහෙයවීමේ කමිටුව නිර්දේශ කිරීම එහි ජාතික ක්‍රීඩා සංගමයේ වගකීමක් මිස එය ක්‍රීඩා අමාත්‍යාංශයට කිසිසේත් අද‌ාළ නොවන කටයුත්තක් බවයි.

අප්‍රේල් 6 වැනිද‌ා පැවැති නිලවරණය සඳහා දින යොද‌ාගත් අවස්ථාවේ පටන් එය පවත්වා අවසන් කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාද‌ාමයම ක්‍රීඩා පනතට හා පාපැදි සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව පැවැති බවට චෝදනා කරන  එන්. කරැණාරත්න මහතා ඊට වගකිවයුත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ නිලවරණ කමිටුව බව ද පැවැසීය.

නිලවරණයේදී භාවිතයට ගත් ඡන්ද පත්‍රිකාවේ ඡන්දය ප්‍රකාශ කරන්නාගේ අනන්‍යතාවය ද සලකුණු කිරීමට සිදුවීම, පාපැදි සම්මේලනයේ ලියාපදිංචි නාමලේඛනයේ නොමැති බව කියන ක්‍රීඩා සමාජ සමූහයකට නිලවරණයේදී ඡන්ද අයිතිය ලබාදීම, එසේ ලියාපදිංචි නාමලේඛනයේ සහතික කර සිටි බව කියන ක්‍රීඩා සමාජ හා සංගම් ගණනාවක ඡන්ද අයිතිය නොසලකා හැරීම, සංශෝධනය කළ තීරණ හා තීන්දු ප්‍රතිසංශෝධනය කිරීම හා නිලවරණය කැඳවූ දිනයේ මොහොතකට පෙරත් ප්‍රතිසංශෝධනය කළ සමහර තීන්දු හා තීරණත් නැවත වතාවක් වෙනස් කිරීමෙන් අප්‍රේල් 6 වැනිද‌ා පැවැති පාපැදි නිලවරණයේ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතීත්වයෙන් පැවැත්වීමට නිලවරණ කමිටුව අපොහොසත් වූ බව පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීහු චෝදනා කරති.

“දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ අවධියේත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පාපැදි නිලවරණය කැඳෙව්වා. නමුත් එතනදී නිලවරණ කමිටුව නිර්දේශ කිරීමේ අයිතිය ලැබුණේ සම්මේලනයටයි. නමුත් මෙද‌ා පාපැදි නිලවරණය පැවැත්වුණේ ඔලිම්පික් ප්‍රඥප්තියත් කඩවෙන ආකාරයටයි. අපි බොහොම පැහැදිලිව කියනවා අන්තර්ජාතික හා ආසියානු පාපැදි සංගම් තවමත් ශ්‍රී ලංකාවේ පාපැදි පරිපාලනය ලෙස පිළිගත්තේ අපවයි“

 “ඒ නිසා මාධ්‍ය අපව හිටපු පාපැදි නිලධාරීන් ලෙස හඳුන්වනවාට අපි තරයේ විරැද්ධයි. අන්තර්ජාතික හා ආසියානු පාපැදි සම්මේලන නිල වෙබ් අඩවිවලට ගියොත් අපි කියන දේවල ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්“ යයිද නිලවරණයට පෙර පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරියෙක් පැවසීය.

ගිණුම් වාර්තා විගණනය කර ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව කියන පාපැදි පරිපාලනයක කටයුතු කිරීමේ චෝදනාවලට වැරදිකරැවන් කරමින් 2018–21 පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරැණාරත්න, ප්‍රධාන ලේකම් නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික සේනක රණසිංහ යන මහත්වරැන්ට එරෙහිව ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරැ දැරීමේ තහනමක් පැනවීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.

ඒ පිළිබඳව යළි සලකා බලන ලෙස ඉල්ලා ඔවුන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අභියාචනයට ප්‍රතිචාර නොලැබුණු බව ද පාපැදි සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අප්‍රේල් 6 වැනිද‌ා පැවැති නිලවරණයෙන් පාපැදි සම්මේලනයේ සභාපති ධුරයට කරැණාරත්න මහතාගේ පාර්ශ්වය සහයෝගය දැක්වූ හිටපු පාපැදි ශූර එච්.එල්. ක්‍රිශාන්ත මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. එහිදී ලේකම් ධුරයට පත්වූයේ නලින් අධිකාරිආරච්චි මහතාය. පාර්ශ්ව දෙකකින් පාපැදි විධායක සභාවට නිලධාරීන් තේරී පත්වී තිබේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මෙවර පාපැදි සම්මේලනයේ නිලවරණය මෙහෙවන ලදි.

 


අදහස් (0)

පාපැදි නිලධාරීහු අමාත්‍යාංශයට අකීකරැ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.