Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති

editorial - 2019 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ලකුණු 101 කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පාකිස්තාන ඉනිමේ දෙවැනි ඕවරය යැවූ නුවන් ප්‍රදීප් එහි පස්වැනි සහ අවසන් පන්දුවලදී ප්‍රභල පිතිකරුවන් වන බාබර් අසාම් සහ උමාර් අක්මාල් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම පීඩනයට පත් කළේය. කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුකගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ අසාම්ගේ ඉනිම ලකුණු 13 කට සීමා වූ අතර මුහුණදුන් පළමු පන්දුවේදීම අක්මාල් ලකුණු නොළබා දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

තෙවැනි කඩුල්ල ලෙස අහමඞ් ශේෂාඞ් ලකුණු 4 කට දවාගැනීමට ඉසුරු උදාන සමත් වූ අතර පිට ඉන්නෙන් ඉවතට දෝලනය වූ පන්දුව, පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල තුළට ඇදී ඒම නිසා ශේෂාඞ්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් ලබා සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඉෆ්තිකාර් අහමඞ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට දසුන් ශානක සහ ඉසුරු උදාන සමත් වූහ. ඉෆ්තිකාර්ගේ දැවී යෑමත් සමග ඔහු සහ සර්ෆරාස් එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ගොඩනැගූ ලකුණු 46 ක සම්බන්ධතාවද නිමාවට පත්විය.

කසුන් රාජිත යැවූ 14 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී උඩ පන්දුවක් රැකගනිමින් ඉමාඞ් වසීම් ලකුණු 7 කට දවාගැනීමට දායක වූ වනිඳු හසරංග, ඉන් පෙර ලකුණු 24 ක් ලබා සිටි නායක සර්ෆරාස් අහමඞ්ගේ කඩුල්ල බිඳ දැමීමටද සමත් විය.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 15 ක් තුළ බිඳවැටුණ අතර උඩ පන්දු 3 ක් රැකගනිමින් එම කඩුලු 4 න් 3 කටම දායකත්වය සැපයීමට ධනුෂ්ක ගුණතිලක සමත් විය. ඉන් පළමු උඩ පන්දුවට රැකගැනීමට ඔහු සමත් වූයේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ අසීෆ් අලී (6) දවාගැනීම සඳහාය.  

නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක අතට උඩ පන්දුවක් දෙමින් ෆාහීම් අෂ්රෆ් ලකුණු 8 කට දැවී ගිය අතර ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ධනුෂ්ක අතට උඩ පන්දුවක් දෙමින් අහොමඞ් අමීර් එක් ලකුණකට දැවී ගියේය. ශදාබ් ඛාන් ලකුණු 6 කට දැවී ගියේ උදානගේ පන්දුවක් හමුවේ අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමිනි.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඞ්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 38 කදී වේගවත් ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

එය ඔහුගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකය මෙන්ම විස්සයි20 තරගයකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. අවිෂ්ක ප්‍රනාන්දු සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 84 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධනුෂ්ක සමත් විය.

ධනුෂ්කගේ සහ අවිෂ්කගේ මෙම සම්බන්ධතාව 2019 වසර තුළදී මේ දක්වා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ගොඩනැගූ හොඳම සම්බන්ධතාව ලෙසද සටහන් වූ අතර ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ධනුෂ්ක දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 33 ක් ලබා සිටි අවිෂ්ක ප්‍රනාන්දු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ශදාබ් ඛාන් සමත් විය. දැවී යන විට පන්දු 34 කට මුහුණදී සිටි අවිෂ්කගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත වී තිබිණ.  
ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී නායක දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් හස්නයින් සමත් විය. එහිදී උමාර් අක්මාල් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ලකුණු 17 කටද, අහමඞ් ශේෂාඞ් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ලකුණු 2 කටද දැවී ගියහ.

එම කඩුලු 2 ත් සමග මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට මොහොමඞ් හස්නයින් සමත් වූයේ ඉන් පෙර යැවූ ඕවරයේ අවසන් පන්දුවට කඩුල්ලක් දවාගැනීමටද ඔහු සමත්ව සිටි බැවිනි. ඒ සමගම විස්සියි20 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමටද හස්නයින් සමත් විය.

එම කඩුලු ත්‍රිත්වයේ පළමු කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ දැවී ගියේ හස්නයින්ගේ යෝකර් පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. සිය මංගල විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූ භානුක, පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළේය.

මෙම තරගයේදී කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සහ මුල් පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගත්හ.

-036


අදහස් (0)

පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවේ ජය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.