Last Update  :  2025-11-23 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

editorial - 2025 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී වැටී තිබෙන දු:ඛිත තත්ත්වය මොනවට පැහැදිළි කරදුන් පාකිස්තානුවෝ රාවල්පිණ්ඩි නුවරදි අද පැවැති විස්සයි-20 තරගයේදීත් කඩුලු 7 ක ජයක් අත්කර ගත්හ. පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 3-0 කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩාය තුන්කොන් තරගාවලියේ  පළමු තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ ද පරාජය විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 128 කි.. පාකිස්තානුවෝ පන්දු 27 ක් ඉතිරිව තිබියදී, කඩුලු 7 ක් අතැතිව ජයටැඹ පසුකර ගියහ. පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබඩ්සා ෆර්හාන් තරගය අවසන් කළේ පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගැසූ හතරේ පහරකිනි. 

බාබර් අසාම් වැනි පළපුරුදු ප්‍රවීණයකු කඩුල්ලේ අනෙක් අන්තයේ සිටියදී සහිබඩ්සා ෆර්හාන් පන්දු 45 කින් ලකුණු 80 ක් උදුරා ගත්තේය. හයේ පහර 5 කින් සමන්විත වූ සහිබඩ්සා ෆර්හාන්ගේ ඉනිමට ඔහු මේ වසරේදී ගැසූ 100 වැනි හයේ පහරත් ඇතුළත් විය. 

අද සිය දෙවැනි විස්සයි-20 තරගයට සහභාගි වූ විජයකාන්ත් වියස්කාන්ත්ගේ පළමු ඕවර දෙකින් ලකුණු 08 කට සීමාවූ නමුත් ඔහුගේ තුන්වැනි ඕවරයේදී ලකුණු 15 ක් උදුරා ගැනීමට සහබඩ්සා ෆර්හාන් සහ බාබර් අසාම් සමත් වූහ. 

පාකිස්තානු ඉනිම ආරම්භයේදීම ප්‍රහාරාත්මක ඕවර 6 න් ලකණු 53 ක් උදුරාගත් පාකිස්තානුවෝ 10 වැනි ඕවරය නිමාවන විට ලකුණු 68 ක් පුවරුවට දැමූහ. වියස්කාන්ත්ගේ තුන්වැනි ඕවරයෙන් පාකිස්තානුවන් ආරම්භ කළ ප්‍රහාරයේ එක් එක් ඕවරයේදී පාකිස්තානුවන්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ වියස්කාන්ත්ට - 15 යි, දසුන්ට -09 යි, වනිඳුට - 15 යි, චමීරට - 10 යි, චමීරට - 10 යි, වියස්කාන්ත්ට - 5 යි සහ එෂාන් මාලිංගට 09 ක් ලෙසිනි. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත් ශ්‍රී ලංකාවට ලැබුණේ ඛේදජනක ආරම්භයකි. 14 වැනි ඕවරය ක්‍රියාත්මක වන විට ලකුණු 86 ක් පමණක් පුවරුවේ තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පිතිකරුවෝ හය දෙනාම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. 

එක්දින තරග 31 කට සහභාගි වී ඇතත් ජනිත් ලියනගේ තවමත් සහභාගි වී ඇත්තේ විස්සයි-20 තරග 4 කට පමණි. එහෙත් අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වීමට ජනිත් ලියනගේට සිදුවිය. පන්දු 38 කින් ලකුණු 41 ක් ලබාගත් ජනිත් ලියනගේගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ  පහර 3 ක් සහ හයේ පහරක් පමණි. 

ලකුණු 128 ක් යනු වත්මන් විස්සයි-20 ක්‍රීඩාවේදී ආරක්‍ෂාකරගත හැකි ඉලක්කයක් නොවේ. 

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.