Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධම්මික අන්තර්ජාතික පිටිය හැරයයි

ධම්මික අන්තර්ජාතික පිටිය හැරයයි

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (18 වැනිදා) නිළ වශයෙන් දැනුම් දුන්නේය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ධම්මික මේ බව පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද තවත් වසර දෙක තුනක් දේශිය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන බව ඔහු පැවසීය. පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී කණ්ඩායමට 2002 වසරේ සිට මේ දක්වා ඔහු සිය දායකත්වය ලබාදෙන්නේය.

“මම එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අදිටනින්. මම ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙද්දි මම හිතුවා තව පොඩි කෙනෙක්ට මේ අවස්ථාව ලබාදෙමින් එස්.එස්.සී කණ්ඩායමේදී මම ලැබූ අත්දැකීම් පහළ මට්ටමේ ක්‍රීඩා කරන කණ්ඩායමක් සමගින් බෙදාහදා ගන්න. ඒ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ක්‍රීඩකයෙකු ලබාදිය හැකිනම් ඒක තමා ලොකුම දේ කියලා මම හිතනවා”

“අපි යම්කිසි දවසක මේ ක්‍රීඩාවෙන් සමුගන්න ඕන. මේක තමයි සත්‍යතාවය. අද මට මේ දවස පැමිණිලා තියෙනවා. මට කිසිම කණගාටුවක් නෑ. මට පුළුවන් ආකාරයට මගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමය කළා කියලා මම හිතනවා. ඒ නිසා මම සතුටින් ගෙදර යන්නේ” යැයි ධම්මික ප්‍රසාද් ඉතා හැඟුම් බරව පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ දිනයේ සිට මේ දක්වා සහයෝගය දැක්වූ සියළු දෙනාටම ස්තූති කිරීමටද ධම්මික ප්‍රසාද් මෙය අවස්ථාවක් කර ගත්තේය.

මේ අවස්ථාවට එක්වූ මාවන් අතපත්තූ සහ රංගන හේරත් සහ මහින්ද හලංගොඩ යන මහත්වරුන් විසින් ධම්මික ප්‍රසාද්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජයට සිදුවූ සේවය ඇගයූ අතර ඔහු සම්බන්ධ රසවත් සිද්ධීන්ද මතක් කර සිටියහ.

“2015 වසරේදී ඉන්දියාව සමගින් ක්‍රීඩා කරන විට ඉෂාන්ත් ෂර්මා සමගින් බහින් බස්වීමට ධම්මික සම්බන්ධ වුනා. අපි හිතුවේ ඒක ගොඩාක් දුර යයි. කියලා. හැබැයි අපි හිතුව දේ නෙවේ සිද්ධ වුනේ. හවස් වෙද්දි දෙන්නා එක්ක කෝපී කෝප්යක් බීලා තරගය ඉවර වෙන්නත් කලින්ම එදා දවසෙම ප්‍රශ්නේ විසඳා ගත්තා” යැයි හිටපු වමත් දඟ පන්දු යවන්නා වූ රංගන හේරත් මහතා සිනාසෙමින් පැවසීය.

අවසන් වරට 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරගයට එක්වී ඇති අතර ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවතට විසිවූ ධම්මික ප්‍රසාද්ට නැවතත් ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් හිමිනොවීය.

මේ වනවිට 37 වැනි වියේ පසුවන ධම්මික ටෙස්ට් තරග 25 කට, එක්දින තරග 24 කට සහ එක් විස්සයි20 තරගයකට ක්‍රීඩාකර ඇත. එහිදී ටෙස්ට් කඩුලු 75 ක් සහ එක්දින කඩුලු 32 ක් දවාගැනීමට ඔහු සමත්වී ඇත. ටෙස්ට් තරගවලදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 35.97 ක් ලෙස රඳවාගෙන ඇති ධම්මික ප්‍රසාද් එක්දින ජාත්‍යන්තර තරගවලදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 30.50 ක් ලෙස සටහන්වේ.

ඔහු දවාගෙන ඇති ටෙස්ට් කඩුලු 75 න් කඩුලු 41 ක් දවාගෙන ඇත්තේ 2015 වසරේදී ඔහු ක්‍රීඩා කළ තරග 9 කදී වීම කැපී පෙණුනි. පළමු පෙල තරග 130 කදී කඩුලු 351 ක් දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්වී ඇති අතර එක්දින තරග 119 කදී කඩුලු 154 ක් දවාගෙන ඇත. දේශීය විස්සයි20 තරග 21 කදී කඩුලු 19 ක් දවාගැනීමට ඔහු සමත්වී ඇත.

 


අදහස් (0)

ධම්මික අන්තර්ජාතික පිටිය හැරයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.