Last Update  :  2026-02-03 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය ඉවත්කර කමිඳු සංචිතයට ගෙනෙයි
2026 ලෝක කුසලාන තරගාවලිය

ධනංජය ඉවත්කර කමිඳු සංචිතයට ගෙනෙයි

editorial - 2026 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන සංචිතය නම් කිරීමේ අවසන් දිනයට (ජනවාරි 31 වැනිදා) කලින් දිනයේ පැවැති විස්සයි-20 තරගයේදී ධනංජය ද සිල්වා අසාර්ථක වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට කමිඳු මෙන්ඩිස් කැඳවා තිබේ. කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (1 වැනිදා) සවස් වන තුරුත් නිල වශයෙන් නිවේදනය කර නොතිබිණ. 

අවසන් මොහොතේ කළ වෙනස්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් කළ විමසීමේදී “ධනංජය විස්සයි-20 කණ්ඩායමට කැඳවීමෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉටුවුණේ නෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලලත් නිලධාරියෙක් කියා සිටියේය. 

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ මැද පෙළ පිතිහරඹය දිගින් දිගටම ආසර්ථක වීම හේතුවෙන්, වසර දෙකකට පසුව, පසුගිය ජනවාරි මස මුල් සතියේදී පාකිස්තානයටෙ එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවන ලදි. ඉන් පසුව පැවැති විස්සයි-20 තරග තුනකදී ධනංජයගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 10, 22 සහ 11 ක් වශයෙනි. 

වසර දෙකක පමණ කාලයක් විස්සයි-20 තරග වලට සහභාගි නොවූ හෙයින් 2026 ජනවාරි 28 වැනිදා යාවත්කාලීන කරන ලද අන්තර්ජාතික විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් අතරේ ධනංජය ද සිල්වාගේ නම සොයාගත නොහැකිය. එහෙත් ධනංජය වෙනුවට ලෝක කුසලාන කණ්ඩායමට කැඳවන ලද කමිඳු මෙන්ඩිස්ට හිමිවී ඇත්තේ අන්තර්ජාතික පිතිකරුවන් 100 දෙනා අතරේ 93 වැනි ස්ථානයයි. 

විස්සයි-20 තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්වලට (2025 දී තරග 18 යි, ජයග්‍රහණ 9 යි, පරාජයන් 8 යි) මෙන්ම ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයට ඇදවැටීමටත් මූලික කාරණාවක් වූයේ කණ්ඩායමෙ මැද පෙළ පිතිහරඹය දුර්වල වීමයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිහරඹය කෙතරම් දුර්වල ද යත්, පසුගිය සිකුරාදා (30 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, ඕවර 8 ක් අවසානයේදී කඩුලු 2 කට ලකුණු 79 ක් ලබා සිටියේය. එහෙත් අවසන් කඩුලු 7 ම ලකුණු 54 කට බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133 කට දැවී ගියේය. 

කණ්ඩායම අසාර්ථක වීමේ අනුයාත ප්‍රතිඵලයක් ලෙසින් විස්සයි-20 කණ්ඩායමේ නායකයාව සිටි චරිත් අසලංකට පසුගිය නොවැම්බරයේදී කණ්ඩායමේ නායකත්වය අහිමිවූ අතර දසුන් ශානක නව නායකයා වශයෙන් පත්කරන ලදි. අන්තර්ජාතික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායකයාට හිමිවී ඇත්තේ 73 වැනි ස්ථානයයි. 

ධනංජය ද සිල්වා ඉවත් කරමින් ලෝක කුසලාන සංචිතයට එක්වූ කමිඳු මෙන්ඩිස්ට ධනංජයගේ භූමිකාව බාරගැනීම සිදුවනු ඇත. එනම් පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසීමත්, ඕවර 4 ම යැවීමට සිදුවීමත්ය. මක්නිසාදයත් වසර දෙකකට පසුව ධනංජය නැවතත් විස්සයි-20 පිටියට කැඳවන ලද්දේ එම  වගකීම් දෙකම ඉටුකරගැනීමේ අරමුණ ඇතිවය. 

වමතින් පන්දුවට පහර දෙන ඉදිරිපෙළ පිතිකරුවකු වන කමිඳු මෙන්ඩිස් අත් දෙකින්ම පන්දු යැවීමේ හැකියාවෙන් යුත් ක්‍රීඩකයෙකි. 

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 16 දෙනා අතරට ප්‍රමෝද් මධුෂාන් ඇතුළත් කරන ලද්දේ පළමු තරග දෙකේදී දුෂ්මන්ත චමීර වෙනුවට ක්‍රීඩා කරවමින්, දුෂ්මන්තව තුන්වැනි තරගයේදී ක්‍රීඩා කරවීමේ බලාපොරොත්තු ඇතිවය. ඒ අනුව ලෝක කුසලාන සංචිතයෙන් ප්‍රමෝද් මධුෂාන් ද ඉවත් කරනු ලැබ ඇත. 


ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා සංචිතය 
(ක්‍රීඩා ඇමතිවරයා නිල වශයෙන් අනුමත කිරීමට පෙර)
දසුන් ශානක (නායකයා), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග


අදහස් (0)

ධනංජය ඉවත්කර කමිඳු සංචිතයට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.