
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2026 - 30) අද (25 වැනිදා) පස්වරු 4.00 ට කොළඹ ටොරිංටන් පෙදෙසේ එහි මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.ඒ සදහා ඡන්දලාභීන් වන ජාතික ක්‍රීඩා සංගම් 28ක් හා කමිටුවේ ක්‍රීඩකයන්ගේ උප කමිටුව සභභාගි වේ.
ක්‍රීඩකයන්ගේ උප කමිටුවට පමණක් එහිදී ඡන්ද දෙකක් භාවිතා කිරීමේ අවස්ථාව සැළසී තිබේ. ඒ අනුව නිලවරණයේදී භාවිතා වන මුළු ඡන්ද ගණන 30 කි. එහිදී ඊයේ (24) වාර්තා වූ අළුත්ම සිදුවීම වූයේ ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයට නිලවරණයෙන් ඉවත්වීමට සිදුවීමයි. ඒ එහි අභ්‍යන්තර නඩු තීන්දුවක් හේතුවෙන් එහි වත්මන් විධායක සභාවේ කටයුතු ඊයේ සිට අත්හිටුවූ බවට වාර්තා වීමයි.ඒ අනුව නිලවරණයේදී භාවිතා කෙරෙන මුළු ඡන්ද සංඛ්‍යාව 31 සිට 30 ට සීමාවී තිබේ.
ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුවට සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතාගේ ඉදිරිපත්වීමට එරෙහිව ගොනු කර තිබූ විරෝධතාවයේ තීන්දුව ඊයේ (24) පස්වරුව වන විටත් ප්‍රකාශයට පත්ව නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් නිලවරණයට තරග වදින පාර්ශව අතර දැඩි අවධානයක් යොමුවී තිබුණි. කෙසේවූවත් ජස්වර් උමාර් මහතාට එරෙහිව නිලවරණ මෙහෙයුම් කමිටුවට කළින් ගොනු කර තිබූ සියළු විරෝධතා ප්‍රතික්ෂේප වීමෙන් ඔහුගේ නාමයෝජනාව සනාථවී තිබුණි.
සභාපති ධූරයට අපේක්ෂකයන් පස් දෙනෙකු නාම යෝජනා භාරදී සිටියත් වාර්තා වන පරිදි මෙවර නිලවරණයේදී අපේක්ෂකයන් දෙදෙනෙකු සිය නාම යෝජනා ඉල්ලා අස් කර ගනිමින් සෙසු පාර්ශවයන්ට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින බවද වාර්තාවේ. කෙසේවුවත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා හැරෙන්නට ශ්‍රී ලංකා ඉලක්කය වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස්,ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න, ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයේ සභාපති දේවා හෙන්රි හා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සම්මේලනයේ විධායක සභික ප්‍රීති විරාජ් පෙරේරා යන මහත්වරුන් හෙට නිලවරණයේදී සභාපති ධූර අපේක්ෂකයෝ බවට පත්ව සිටිති.
කමිටුවේ මහ ලේකම් ධූරය සදහා වන ඡන්ද විමසුම දෙකොන් සටනක් බවට පත්ව තිබෙන අතර ඒ සදහා වත්මන් මහ ලේකම්, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක සභික රිෆ්ඩි ෆාමී හා ශ්‍රී ලංකා නූතන පංච ප්‍රයාම සම්මේලනයේ සභාපති නිෂාන්ත පියසේන යන මහත්වරු තරග වදියි.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා නිලවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
මේ අතර භාණ්ඩාගාරික ධූරයට දසුන් අරෝශන විජේසිංහ (ටයිකොන්ඩෝ), ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩු හරඹ) තරග කරති.
උප සභාපති ධූරයන්ට (4) ඉක්බාල් ඉසාක් (ටෙනිස්), ප්රිති විරාජ් පෙරේරා (ඔරු පැදීම), අසංග සෙනවිරත්න (බේස්බෝල්), නිලූ ජයතිලක (ගොල්ෆ්), බිමල් විජයසිංහ (මලල ක්‍රීඩා), සරත් හේවාවිතාරණ (මල්ලවපොර), ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩු හරඹ), ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත (වොලිබෝල්), රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්), පෙරුමාල් විශ්වනාතන් (හොකී)
උප ලේකම් ධූරයට සරත් හේවාවිතාරණ (මල්ලවපොර), සමන්ත නානායක්කාර (සුළං ඔරු), අස්මිත ගුණරත්න (රුවල් ඔරු),
උප භාණ්ඩාගාරික ධූරයට දසුන් විජේසිංහ (ටයිකොන්ඩෝ), අසංක ආරියචන්ද්‍ර (ජූඩෝ),
කමිටු සාමාජික ධූරයන්ට (3) අක්රි අමීර් (තුන් ප්‍රයාම), මහින්ද ලියනගේ (පිහිනුම්), කෝසල වික්‍රමනායක (අසුන් පිටයාම), සමන්ත නානායක්කාර ( සුළං ඔරු), පවිත්‍ර ප්‍රනාන්දු (රග්බි), දනූන තිලකරත්න (කදු නැගීම), රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්), උපාලි රාජපක්ෂ (අත්පන්දු හෙවත් හෑන්ඩ්බෝල් ) යන මහත්ම මහත්මීන් නාමයෝජනා භාරදී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.