
ටෙක්සාස් හි පැවැත්වෙන ලෝන් ස්ටාර් එළිමහන් ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍ර ශූරතාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවන්ක පෙරේරා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අලුත් කර තිබේ. මෙ දක්වා මීටර 2.27 ක් ලෙසින් පැවැති ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව මීටර 2.30 ක් දක්වා ඉහළ දැමීමට ඔහු සමත්ව ඇත.
ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්ව විද්‍යාලයේ වාණිජ්‍යය විෂය ධාරාව හදාරන තිවන්ක පෙරේරා 23 හැවිරිදි ක්‍රීඩකයෙකි. ලෝන් ස්ටාර් එළිමහන් ජවන හා පිටිය මලල ක්‍රීඩා ක්ෂේත්‍ර ශූරතාවලියේදී මීටර 2.30 ක උස පනිමින් දස්කම් පෙන්වූ තිවංක එම ඉසව්වේ පළමු ස්ථානය දිනාගත්තේය.
ශිෂ්‍යත්වයක් ලබා ටෙක්සාස් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ තිවංක, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පසුගිය මාර්තු මාසයේදී තිවංක විසින් උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව මීටර 2.27 ක් ලෙසින් සටහන් කළේ 2004 දී මංජුල කුමාර විජේසේකර විසින් පිහිටුවන ලද වාර්තාව බිඳ දමමිනි. ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ගෘහස්ථ උස පැනීමේ වාර්තාවද මීටර 2.26 ක් ලෙසින් සටහන් කර තිබිණ.
රාගම කරුණාරත්න බෞද්ධ පාසලෙන් මලල ක්‍රීඩා දිවිය ආරම්භ කළ තිවන්ක, පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට ඇතුළත් වූයේය. එහිදී පුහුණුකරු සනාරත් ප්‍රනාන්දු මහතාගේ මඟ පෙන්වීම සිය කුසලතා වර්ධනය කර ගැනීමට තිවංක සමත් වූයේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.