Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තැන රැකගැනීමේ අභියෝගය

තැන රැකගැනීමේ අභියෝගය

editorial - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ඉරණම මේ වන විට විසඳී තිබේ. එහෙත් දිමුත් කරුණාරත්න ඇතුළු පිරිසයේ කාර්යය තවමත් නිමාවී නැත. පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටී. එැබැවින් ඉරිදා (1 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වෙන තරගයේ විසඳුම කුමක් වූවත් එන්.ඩී.බී. කුසලානය ශ්‍රී ලංකා පිලට හිමිවෙයි.

කුසලානයේ හිමිකරුවන් වූවද එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේදී තමන්ගේ තැන රැකගැනීමට නම් දිමුත් ඇතුළු කණ්ඩායම හෙට දිනයේ පැවැත්වෙන තරගයත් ජයගත යුතුව තිබේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 81) කොදෙව් පිල 9 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 80) සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක් ජයගත් නමුත් තවමත් දෙපිලේ ස්ථාන වෙනස් වී නැත්තේ එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේදී කොදෙව් පිල ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි බැවිනි.

හෙට තරගය ජයගත හොත් ශ්‍රී ලංකා පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් එකක් එකතු වීමෙන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 82 දක්වා ඉහළ දමාගත හැකි නමුත් යම් හෙයකින් හෙට තරගයේ ජය කොදෙව් පිල සතු වුවහොත් ශ්‍රි ලංකා කණ්ඩායම 9 වැනි ස්ථානයට ඇද වැටීමේ අවදානමක් තිබේ. මක්නිසාද යත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සකස් කිරීමේදී ඉහළින් සිටින කණ්ඩායමක් පරාජය කිරීම වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකරගැනීමේ අවස්ථාවක් වන බැවිනි. එලෙසින්ම පහළින් සිටින කණ්ඩායමකට පරාජය වීම වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගැනීමක්ද වන බැවිනි.

එබැවින් ජයග්‍රහණයෙන් පටන් ගත්ත දේ අහවර කිරීමේ වගකීම දිමුත් කරුණාරත්න සහ පිරිවරට ඉතිරි වී තිබේ.

ජයග්‍රාහී තරග දෙකේදී දැකගත හැකිවූ දේ නම් ශ්‍රී ලංකා පිතිකරුවන් නැවතත් ලකුණු අතරට පැමිණීමයි. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයද පිතිකරුවන්ට යෝග්‍ය ක්‍රීඩාංගණයක් වන බැවින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිතිකරුවන් සතු වගකීමකි. ඇරත් 3-0 ක තරගාවලි ජයක් යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි උත්තේජකයක්ද වන බැවිනි.

සූරියවැව තරගයේදී නරඹන්නන් අපහසුතාවට පත්වන පරිදි ඇතිවූ සිදුවීම් වලින් පාඩමක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු සුදානම් කර ඇති බවක් පෙනේ. එබැවින් ක්‍රිකට් ලෝලීන්ට කල්වේලා ඇතිවම තමන්ගේ ප්‍රවේශපත් ලබාගැනීමේ පහසුකම් සූදානම් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් කාර්යාලයෙන්, පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් හෝ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකිය. තරග දිනයේදී ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත් නිකුත් කරනු නොලැබේ. එදින ප්‍රවේශපත් බලගොල්ල අභීත ක්‍රීඩාංගණයෙන් මිලදී ගත හැකිය.

ප්‍රවේශපත් කවුළු පෙරවරු 9.00 සිට විවෘතව තැබෙන අතර නරඹන්නන් සඳහා ක්‍රීඩාංගණයේ දොරටු දහවල් 12.30 ට විවෘත කෙරේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ කෙරේ.


ඡායාරූපය : ඉෂාන් සංජීව

 


අදහස් (0)

තැන රැකගැනීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.