Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සල්ලි දීලා ඔවුන්ගේ ගමන කෙටි කරන්න එපා

තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සල්ලි දීලා ඔවුන්ගේ ගමන කෙටි කරන්න එපා

editorial - 2022 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගත් සැනින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ආධාර ලබාදීම, ඔවුන්ගේ ක්‍රීඩා දිවිය කෙටි කරවීමට හේතුවනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ එළඹෙන යොවුන් ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මෙරට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රියාවට නැංවෙන ‘යොවුන් පිබිදීම 2026’ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.

 “මමයි, මැක්ස්වෙලුයි (මැක්ස්වෙල් ද සිල්වා) ගියා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනපු නෙත්මිව (නෙත්මි අහිංසා) මුණගැහෙන්න. අනුග්‍රාහකයන් කිහිප දෙනෙක්ම ඉදිරිපත්වෙලා තියෙනවා ඇයට අනුග්‍රහය දක්වන්න. ඔවුන් කරන්න හරි දෙයක්ද, වැරදි දෙයක්ද කියලා මම දන්නෙ නෑ. මොකද ඇය දිනුවෙ පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක්. නමුත් අපේ බලාපොරොත්තුව විය යුත්තේ ඔලිම්පික් පදක්කමක්.”

“දකුණු ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය කියන කඩයිම් ජයග්‍රහණය කළාට පස්සෙ තමයි ඔලිම්පික් පදක්කම් කරා යන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ඔලිම්පික් පදක්කමක් කරා යෑමට පෙර මේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ අතට විශාල මුදල් කන්දරාවක් දෙමින් ඔවුන්ට වැරදි අවබෝධයක් ලබාදෙනවට අපි කැමති නෑ. යම් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ආසියානු හෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය ජයග්‍රහණයක් ලැබුවාම අපි බලන්නෙ කොහොමද එයාව ඔලිම්පික් පදක්කමක් කරා ගෙනියන්නේ කියන එක ගැනයි.”

“අන්න ඒකට තමයි අපි (ඔලිම්පික් කමිටුව) වියදම් කරන්නෙ. ඔවුන්ගේ අතට මුදල් දෙනවට වඩා ඒ මුදල් ඔවුන් ඔලිම්පික් පදක්කමක් කරා ගෙනියන ගමනට අයෝජනය කරන්න තමයි අපිට අවශ්‍ය වෙන්නෙ. අපේ අරමුණ එයයි. ක්‍රීඩයෙක් හරි ක්‍රීඩිකාවක් හරි ඔලිම්පික් අභියෝගය ජයගත්තාම, නැත්නම් ඔලිම්පික් පදක්කමක් දිනුවාම අපි කැමතියි හැමෝම ඔවුන්ට ඇති තරම් මුදල් දෙනවට. එතකොට ඔවුන්ට පුළුවන් සාර්ථක ලෙස ඔවුන්ගේ ක්‍රීඩා දිවියෙන් සමුගන්න.” යැයි සුබ්‍රමනියම් මහතා එහිදී පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 2018 වසරේ ආජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩාවට සමුදීමටද ප්‍රධානම හේතුවක් වූයේ එම පදක්කම දිනාගැනීමෙන් අනතුරුව ඇයට හිමිවූ විශාල මුදල් කන්දරාව බවය.

“පාරමී පදක්කම දිනාගෙන ආවාම ඇයට අනුගාහකයන්ගෙන් විශාල මුදලක් හම්බුණා. අපි එවෙලෙ ඔවුන්ට කිව්වා ඒ මුදල් ඇයගේ අතට දෙන්න එපා. ඇගේ අනාගය වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා. ඒත් ඒ කවුරුත් අපේ කීම ඇහුවෙ නෑ. මං හිතන්නෙ ඒ අවස්ථාවෙ ඇයට මිලියන 10 ක් පමණ ලැබුණා. ඊට පස්සෙ මොකද වුණේ. ඇය ක්‍රීඩාව අතහැරියා. ඇයි ඇය ක්‍රීඩාව අතහැරියෙ. තවදුරටත් ඇයට ක්‍රීඩා කිරීමට අවශ්‍යතාවක් නැති නිසා. මොකද ඇය බලාපොරොත්තු වුණ දේවල් ඒ පදක්කමෙන් පසුව ඇයට ලැබුණා.” යැයිද සුබ්‍රමනියම් මහතා සඳහන් කළේය.
ලොව කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක උපත ලබන විට සියලු සැප සම්පත් සමග උපත නොලබන බව පවසන සුබ්‍රමනියම් මහතා, වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මෙටර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පවතින එකම වෙනස ඔවුන් අපට වඩා පහසුකම් අතින් ඉදිරියෙන් සිටීම පමණක් යැයි තමා පිළිගන්නා බවද එහිදී කියා සිටියේය.

“නෙත්මි ගැන කියනවා නම්, ඇයව මුණගැහිලා අපි කළේ ඇයට පුහුණුවීමට අවශ්‍ය ස්ථානයක් පිළියෙල කර දීමයි. ව්‍යායාම කිරීමට අවශ්‍ය බර ඉසිලීමේ උපකරණ, ජාත්‍යන්තර මට්ටමේ පළසක් වගේ දේවල් එක්ක. අපි එවෙලෙ ඇයට කිව්වා. දැන් ඔයා රන් පදක්කමකට යන්න ඕන. ඊළඟට ඔයාගේ ඉලක්කය විය යුත්තේ ඔලිම්පික් පදක්කමකට යන එක කියලා. යැයිද සභාපතිවරයා අවසන් වශයෙන් පැවසීය.

 


අදහස් (1)

තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සල්ලි දීලා ඔවුන්ගේ ගමන කෙටි කරන්න එපා
  • Asela Friday, 23 September 2022 06:36 PM

    හොඳ අදහසක්... සල්ලි ඔබ ළඟ තියාගන්න. ක්‍රිකට් වලටත් මේ දේම කරන්න. ඔබේ අදහසට ස්තුතියි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.