Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොෆ්රා ආචර්ට බැණුම් කෝටියයි

ජොෆ්රා ආචර්ට බැණුම් කෝටියයි

editorial - 2020 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර්ගේ හිතුවක්කාර ගෙදර යාම පවුම් මිලියන ගණනක් වැය කිරීමට හේතුවක් වියහැකි බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා පවසයි.

මේ වන විට පැවැත්වෙන එංගලන්ත – කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් මැන්චෙස්ටර්හිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් ආචර් ඉවත් කරන ලදි. සෙනසුරාදා (18 වැනිදා)  පැවැති විනය පරීක්ෂණයකදී ජොෆ්රා ආචර්ට දැඩි සේ අවවාද කළ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහුට සෑහෙන දඩ මුදලක් ගෙවීමටද නියම කර තිබේ.

ආචර්ගේ හිතුවක්කාර ගමන කුමක්ද යන්න එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පළමුව නොකීවේය. එහෙත් මාධ්‍ය වාර්තා වලින් කියැවුණේ සදම්ප්ටන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව 25 හැවිරිදි ආචර් සසෙක්ස් ප්‍රාන්තයේ හෝවේ හි පිිහිටි තමන්ගේ ගෙදර ගොස් ඇති බවයි.

"මෙය මහත් ව්‍යසනයක් වන්නට පුළුවන්. මෙය මුළු ගිම්හානය පුරාම විපාක දෙන කාරණාවක් වෙන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් අපට පවුම් මිලියන ගණනක් වැය විය හැකිය,"

"ඔහු විසින් කරන ලද වරදේ බරපතළකම ඔහුට තේරුම් ගත හැකි යැයි මා හිතන්නේ නෑ. ඔහු තරුණයෙක්. තරුණයින් වැරදි කරනවා. එත් ඔහු ඒවායින් ඉගෙන ගත යුතුය." යයි ජයිල්ස් බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පැවසීය.

හිතුවක්කාර අන්දමින් කණ්ඩායමෙන් බැහැරව යාම ගැන සමාව අයැද සිටින ආචර් දින පහක හුදකලාව ආරම්භ කර තිබේ. ඒ අතරවාරයේදී ඔහු පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකකට මුහුණ දෙනු ඇත. කෙසේ වෙතත් එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පැවසුවේ ක්‍රීඩකයාට විශාල සහයෝගයක් ලැබෙන බවයි.

"ඔහු එය කළ බව ඔහු දන්නවා. අපට හැකි උපරිමයෙන් අපි ඔහුට සහාය දෙනවා" යැයි සිල්වර්වුඩ් මහතා පැවසීය.

ආචර් කණ්ඩායමේ සාමාජිකයකු වන බැවින් පුහුණුකරුවා එසේ කීවද ජොෆ්රා ආචර්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක මයිකල් හෝල්ඩිං මහතා දැඩි විවේචනයක නිරත වෙයි. සුප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ ආදර්ශය උපුටා දක්වමින් හෝල්ඩින් මහතා පවසන්නේ වැඩි දෙනාගේ යහපත සඳහා කැපකිරීම් කළ යුතු බවයි.

"මට කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නෑ. මිනිසුන්ට අවශ්‍ය දේ පමණක් කළ නොහැක්කේ මන්දැයි මට තේරෙන්නේ නෑ“

“පරිත්‍යාගයන් ගැන කතා කරනවා නම්....නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27 ක් කුඩා සිරකුටියක ගත කළා. ඒ කාලයේදී ඔහු කිසි වරදක් කළේ නෑ....එය පූජාවක් වගේ“ යයි මයිකල් හෝල්ඩින් මහතා ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසීය.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති නිරෝධායන වත්පිළිවෙත් පිළිබඳව හෝල්ඩින් මහතා ප්‍රශ්න කරමින් කියා සිටියේ එය වඩාත් 'තර්කානුකූල' විය යුතු බවයි. සෙසු ක්‍රීඩකයින් සවුත්හැම්ප්ටන් සිට මැන්චෙස්ටර් බලා යමින් සිටියදී ජොෆ්රා ආචර් පමණක් සසෙක්ස් හි පිහිටි සිය නිවස බලා මෝටර් රථයක් පදවාගෙන ගිය බව වාර්තා වේ.

"එංගලන්ත කණ්ඩායම බස් රථයක ගමන් නොකරන්නේ ඇයි? "

"ඔවුන් දැනටමත් කොවිඩ් පරීක්ෂණයෙන් සමත් වී ඇති අතර සියලු දෙනා එකට සිටී නම් එතන ප්‍රශ්නයක් නෑ. අනෙක ඔවුන්ට තරඟ හයක් (කොදෙව් පිලට එරෙහිව තරග 3 ක් සහ පාකිස්තානයට එරෙහිව තරග 3 ක්) තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී.... එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන්නේ නම් ඔවුන් සියල්ලෝම බස් රථයක නොසිටියේ ඇයි?" යයි මයිකල් හෝල්ඩිං මහතා ප්‍රශ්න කරයි.

"ඔවුන්ට මෝටර් රථයෙන් ගමන් කිරීමට අවසර දෙන්නේ ඇයි? මේ ගැන ටිකක් සිතා බැලිය යුතුයි" හෝල්ඩිං මහතා තවදුරටත් පැවසීය.

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ඇතර්ටන් ද ආචර්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයට ලක් කළේය.
 
සැකසුම – දමින්ද විජේසූරිය


අදහස් (0)

ජොෆ්රා ආචර්ට බැණුම් කෝටියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.