
‘කොරෝනා’ බිය රට තුළ ක්‍රමක්‍රමයෙන් උත්සන්න වෙද්දී ජාතික ක්‍රීඩා සංගම් රැසක වැඩසටහන් හා තරගාවලි නැවත වතාවක් අත්හිටුවීමට සිදුවීමෙන් එ්වායේ ප්‍රධානීහු දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටිති. පසුගිය මාර්තු මාසයේ දී රට තුළ උද්ගත වූ පළමු කොරෝනා රැල්ලෙන් පසු මෙම වසරට නියමිතව තිබූ තරගාවලි හා වැඩසටහන් කල්දැමීමට හා ඉන් සමහරක් අවලංගු කිරීමට ද ජාතික ක්‍රීඩා සංගම්වලට සිදුවිය.
එයින් පසුව පසුගිය ජුලි මාසය අවසන් වනවිට තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවති බැවින් බොහෝ ජාතික ක්‍රීඩා සංගම් එම වැඩසටහන් හා තරගාවලි යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙසේ අනපේක්ෂිත ලෙස යළිත් රට තුළ ගෝලීය කොවිඩ් වසංගත රැල්ලක් පැතිර යාමේ අවදානමට ජාතික ක්‍රීඩා සංගම් මුහුණ දී සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (7) වනවිට සිය වැඩසටහන් හා තරගාවලි ගණනාවක්ම කල් දැමීමට ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක්ම පියවර ගෙන තිබුණි. ඒ අතර ජාතික ශූරතා තරගාවලි ගණනාවක් ද වීම කැපී පෙනේ.
උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානින් කීප දෙනෙකු ‘ලංකාදීප’යට පැවසුවේ දෙවැනි කොරෝනා රැල්ලක අනතුර හමුවේ මෙම වසරට නියමිත ශූරතා තරගාවලි හා වැඩසටහන් රැසක් අත්හැර දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බවයි.
‘‘කොවිඩ් පළමු රැල්ලේ අනතුර පහව යමින් තිබෙන අතර අපි කල් දැමූ තරගාවලි වසර අවසානයට සුදානම් කළා. ඒ සූදානම් කළා විතරයි දැන් අපට ආයෙත් ඒවා දින නියමයක් නැතිව කල් දාන්න වෙලා. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක් යයි ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
ක්‍රීඩා අමාත්‍යාංශය ද පෙරේදා (5) නිවේදනය කළේ උද්ගතවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන සිය වැඩසටහන් කල් දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව කතරගම දී අනිද්දා (10) ආරම්භ වීමට නියමිතව තිබූ 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඇවිදීම, මැරතන්, පාපැදි තරග මාලාව ද ඒ අනුව දින නියමයක් නැතිව කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේය.
කල්දැමීමට සිදුවී ඇති තරගාවලි
මලල ක්‍රීඩා තරගාවලි සහ පාඨමාලා
♦ ඔක්තෝබර් 25-26 දෙදින සුගතදාස පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය
♦ දෙසැම්බර් 5-6 දෙදින සුගතදාස පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙන 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය.
♦ ඔක්තෝබර් 10 වැනිදා සිට කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන පාඨමාලාව
පිහිනුම් තරගාවලි සහ පාඨමාලා
♦ නොවැම්බර් 18 වැනිදා සිට දින තුනක් පුරා සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ආධුනික පිහිනුම් තරගාවලිය.
♦ වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය
♦ ජාතික පිහිනුම් තරගාවලිය
♦ පංච ප්‍රයාම තරගාවලිය
එල්ලේ තරගාවලි
♦ ඔක්තෝබර් 18 වැනිදා ජාඇළ හා කොළඹ පැවැත්වීමට සූදානම් කර තිබූ වසර 2018 ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහ තරගය.
පාපන්දු තරගාවලි
♦ වයස 17න් පහළ හා 20න් පහළ කනිෂ්ඨ පාපන්දු තරගාවලිය
♦ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය
වොලිබෝල් තරගාවලි
♦ ඔක්තෝබර් 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ මංචි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ පළමු වටයේ තරග
♦ නොවැම්බර් 10 වැනිදා සිට පැවැත්වීමට ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය අවලංගු කිරීම.
♦ හෙයියන්තුඩුවේ දී වෙරළ වොලිබෝල් (කාන්තා) තරගාවලිය.
දැල්පන්දු තරගාවලි සහ වැඩමුළුව
♦ ඔක්තෝබර් 11 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ පුහුණුකරුවන් හා විනිසුරුවන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව
♦ දෙසැම්බර් මාසයේ ගාල්ලේ දී පැවැත්වීමට තිබූ අන්තර් දිස්ත්‍රික් දැල්පන්දු තරගාවලිය
කරාටේ තරගාවලි සහ විභාගය
♦ ඔක්තෝබර් 10-11 දෙදින බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබූ ජාතික කරාටේ ශූරතා තරගාවලිය
♦ නොවැම්බර් 5-6 දෙදින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට තිබූ ජාතික කරාටේ විනිසුරු පරීක්ෂණ විභාගය
(මල්ලවපොර)
♦ හෙට සහ අනිද්දා (9-10) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර තරගාවලිය.
♦ වේයන්ගොඩ මධ්‍ය මහ විදුහල් ගෘහස්ථ පිටියේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ගම්පහ දිස්ත්‍රික් තරගාවලිය
♦ දෙසැම්බර් මාසයේ දී මීගමුවේ දී පැවැත්වීමට තිබූ වෙරළ මල්ලවපොර ජාත්‍යන්තර තරගාවලිය.
යොවුන් ක්‍රීඩා
♦ 32 වැනි ජාතික ගෘහස්ථ ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග
කඹ ඇදීමේ තරග
♦ ඔක්තෝබර් 17 හා 19 මහරගම තරුණ සේවා පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ කඹ ඇදීමේ තරගාවලිය
පැසිපන්දු තරග
♦ ඔක්තෝබර් 24-25-31 යන දිනවල කොළඹ කාල්ටන් (හෙන්රි පේද්‍රිස්) හා බම්බලපිටිය පොලිස් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ පැසිපන්දු තරගාවලිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.