Last Update  :  2025-09-13 08:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩාව කුමක්ද යන්න හෙළිකරන්නැයි නියෝග

ජාතික ක්‍රීඩාව කුමක්ද යන්න හෙළිකරන්නැයි නියෝග

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙන ක්‍රීඩාව පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසුමකට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට අවවාද කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කළ විමසුමට ඊයේ (15) වනවිට ප්‍රමාණවත් තොරතුරු සැපයීමට අපොහොසත් වන්නේ නම් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 39 වැනි වගන්තිය ප්‍රකාරව පොදු අධිකාරියට (ක්‍රීඩා අමාත්‍යාංශයට)හා තොරතුරු නිලධාරීන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය  යුතු බවට ද එහි කොමිසන් සභාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී/ නීති නිලධාරි හා අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියක දැක්වේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යොමු කළ එම ලිපියට එහි සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු එහි කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි හා ඒ.එම්. තහියා යන මහත්ම මහත්මීන් අත්සන් තබා තිබේ.

සබුද්ධි සාහිත්‍ය කවයේ සභාපති මාධ්‍යවේදී තමීර මංජු මහතා ශ්‍රී ලංකාවේ නිල ක්‍රීඩාව කුමක්ද යනුවෙන් පැහැදිලි කරන ලෙස ඉල්ලා ක්‍රීඩා   සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට ප්‍රමාණවත් ප්‍රතිචාර ක්‍රීඩා අමාත්‍යංශයෙන් නොලැබීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව මෙසේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම අභියාචනය සලකා බැලීම යනුවෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනය ඉදිරිපත් කළ පාර්ශවයට හා තොරතුරු ලබාදීමට බැඳී සිටින පාර්ශවයට යොමු කළ ලිපියේ මෙසේද දැක්වේ.

අභියාචක විසින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද  යනුවෙන් විමසා ඇති තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු සපයන පොදු අධිකාරිය ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නම් කිරීමේ කමිටු වාර්තාව සපයා ඇත. එකී කමිටු වාර්තාව ජාතික ක්‍රීඩාවක් නම් කරමින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. එසේ වුවත් එම නිර්දේශය ක්‍රියාත්මක වූ බවට කරුණු ඉදිරිපත්ව නොමැති අතර ඒ අනුව අභියාචකගේ තොරතුරු ඉල්ලීමට තොරතුරු සැපයීමක් සිදුකර නැත.

එබැවින් මෙම කරුණු සලකා බලා පොදු අධිකාරිය විසින් අභියාචකගේ තොරතුරු ඉල්ලීම නිසි පරිදි 2022.12.15 ට පෙර එම කොමිෂන් සභාවට ද පිටපත් සහිතව තොරතුරු මුදාහැරීමට පොදු අධිකාරිය ක්‍රියා කළ යුතු බවට තීරණය කරමු. අභියාචක තම තොරතුරු ඉල්ලීමේ අංක 1, 2, 3 යටතේ තොරතුරු ඉල්ලා ඇති අතර ඒ අනුව තොරතුරු සැපයීමට පොදු අධිකාරිය කටයුතු කළ යුතුය.

වසර 1991 සිට ශ්‍රී  ලංකාවේ ජාතික ක්‍රීඩාව ‘වොලිබෝල්’ බවට සම්මත කර ගෙන ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසුන්ට නිකුත් කළ පෙළපොත්වල ද සඳහන් වේ.

එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඒ සඳහා ඉදිරිපත් කළ නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැත. ඒ නිසා ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් බවට පිළිගැනීමට නිශ්චිත සාධක ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත්වී සිටින බවද වාර්තා වේ.

අභියාචකට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදුන් එක් තොරතුරකට අනුව මේ සම්බන්ධයෙන් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක කොපියකි.


අදහස් (0)

ජාතික ක්‍රීඩාව කුමක්ද යන්න හෙළිකරන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.