Last Update  :  2025-11-11 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමීර - ඉෂාරා ශූරතා දිනති

චමීර - ඉෂාරා ශූරතා දිනති

ශානුක අරවින්ද - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සමත් විය. වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි විවෘත කාන්තා ශූරතාව දිනාගැනීමට සමත් වූවාය.

අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස (7/11, 11/9, 11/5, 9/11, 11/8) කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා පරාජය කරමින් චමීර ගිණිගේ විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කීවේය.

ඉෂාරා මධූරංගි විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස (11/6, 11/9, 11/7) නාවික හමුදාවේ මුතුමාලි ප්‍රියදර්ශනී පරාජය කරමිනි.

පිරිමි අවසන් පූර්ව වටයේදී වට 3-2 ක් ලෙස (11/8, 3/11, 11/7, 10/12, 11/7) ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් චමීර අවසන් මහ තරගයට පිවිසියේය. සෙනුර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී සුපුන වරුසවිතානට එරෙහිව වට 3-1 ක (11/7, 11/9, 10/12, 12/10) ජයක් වාර්තා කරමිනි.

කාන්තා අවසන් පූර්ව වටයේදී ඉෂාරා හමුවේ වට 3-0 ක් ලෙස (11/1, 11/3, 11/4) එරන්දි වරුසවිතාන පරාජයට පත්වූ අතර මුතුමාලි හමුවේ වට 3-1 ක් ලෙස (11/8, 11/13, 11/5, 11/5) හංසනී පියුමිලා පරාජයට පත්වූවාය.

විවෘත පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීම හේතුවෙන් චමීරට සහ ඉෂාරාට, ධනසිරි අමරතුංග අභියෝග කුසලාන පිරිනැමිණ. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගස්කිස්ස නගරසභාවේ හිටපු නගරාධිපතිවරයෙකි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්, ආයතන, ක්‍රීඩා සමාජ සහ සංගම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 170 ක් සහභාගි වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රයිගම් අළෙවි සේවා ලාංඡන විධායක නිලධාරිනි, නිලූෂි තියොඩෝර් මෙනවිය එක් වූවාය.

කුසලාන සහ සහතිකපත්වලට අමතරව ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාගද පිරිනැමුණ අතර අම්බලන්ගොඩ ගිත්මි ක්‍රීඩා ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂ අනුර ලාල් මහතා විසින් එම මුදල් ත්‍යාග පිරිනමනු ලැබිණ.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් ශ්‍රීනාත් විජේතුංග, උප සභාපති මධුෂානි පෙරේරා සහ බස්නාහිර පළාත් මේසපන්දු සංගමයේ ලේකම් චන්දන පෙරේරා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


අදහස් (0)

චමීර - ඉෂාරා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.