Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා විස්සයි20 කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 113 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරගයදී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වූවාය. අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකයට ද හිමිකම් කියන්නීය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උතුරු සිඩිනි ඕවල් පිටියේදී පැවැති පළමු වැනි වි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 41 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නිහිදී අද (29) පැවැති පළමු තරගයේදී චමරි අතපත්තු මෙම ශතකය රැස් කළාය.
චමරි 2017 වසරේ කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ ලකුණු 178 ලෝක කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිවුවැනි ඉහළතම ඉනිම ද වේ.
මෙම ශතකයත් සමඟ අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ශතක රැස්කළ එකම ක්‍රීඩිකාව ද බවට පත්වූවාය.
චමරි මෙහිදී පන්දු 66 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 113 රැස්කළාය. ඇය පළමු ලකුණු 51 ක පන්දු 44 කින් රැස්කළ අතර ඉතිරි ලකුණු 62 ක පන්දු 22 කින් රැස්කිරීමට සමත් වූවාය. දකුණු අප්‍රිකාවට 2016 වසරේ එරෙහිව රැස්කළ ලකුණු 52 ක මීට පෙර ඇයගේ විස්සයි20 ඉහළතම ඉනිම ලෙස සටහන්ව තිබුණි.
ලසන්ති මධුෂානි 2013 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී රැස්කර තිබූ ලකුණු 63 මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළතම විස්සයි20 ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
වමත් පිතිකාරිනියක වන 29 හැවිරිදි චමරි මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර තරග 79 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 1446 ක් රැස්කර තිබේ. ඇය එක්දින ජාත්‍යන්තර තරග 81 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 2485 ක් රැස්කිරීමට සමත්ව සිටින්නීය.
අතපත්තුගේ මෙම වාර්තාගත ඉනිම නිසා ශ්‍රී ලංකා පිල ඕවර 20 දී කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් රැස්කළේය. මෙම ලකුණු 176 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල විස්සයි20 තරගයකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ.
මෙම තරගයේදී බේත් මොනි පන්දු 61 කින් හතරේ පහර 20 ක් සමගින් රැස්කළ ලකුණු 113 නිසා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාවට ලකුණු 217 ක් රැස්කිරීමේ අවස්ථාව උදාවිය.
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 217
(ඇලිසා හීලි 43, බේත් මොනි 113, ඇෂ්ලිග් ග්‍රැඞ්නර් 49, ඕෂදී රණසිංහ 44/2)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 176
(චමරි අතපත්තු 113, හංසිමා කරුණාරත්න 16, නිලක්‍ෂි ද සිල්වා 10, ජෝජියා වරිහම් 19/2)
- 048
ඡායාරූපය - ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.