Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගිළිහුණු උඩපන්දු රැකගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ගිළිහුණු උඩපන්දු රැකගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා

editorial - 2023 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර සිට..)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‍යේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ ‍තුනේම පසුබෑමකට ලක් වූවද, එහිදී ලැබුණු උඩ පන්දුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හෝ රැකගැනීමට සමත් වූවා නම් තරගාවලි‍යේ ප්‍රතිඵල මීට වඩා වෙනස් වීමට ඉඩ තිබූ බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය.

තරගාවලියේ මූලික වට‍ය යටතේ සහභාගි වූ අවසන් තරගයේදී නවසීලන්ත හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 ක පරාජයක් ලැබීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිල්වර්වුඩ් මහතා ඒ බව කියා සිටියේය. ‍මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සහභාගි වූ තරග 9 න් 7 ක්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී බිම දැමූ උඩපන්දු සංඛ්‍යාව 16 ක් ලෙස සටහන් විය.

තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 10 න් උඩ පන්දු රැකගැනීමේදී දැක්වූ සාර්ථකත්වය අනුව ශ්‍රී ලංකාව අවසන් ස්ථානයට පත්වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ උඩ පන්දු රැකගැනීමේ සම්භාවිතාව සටහන් වූ‍යේ 61% ක් ලෙසිනි. ඉන්දියාව සමග පැවැති තරගයේදී ලකුණු 92 ක් රැස්කළ ශුබ්මන් ගිල් ලකුණු 8 ක් ලබා සිටියදී දුන් උඩ පන්දුව මෙන්ම, ලකුණු 88 ක් රැස්කළ විරාට් කෝලි ලකුණු 10 ක් ලබා සිටියදී දුන් උඩ පන්දුවද බිම දැමූ ශ්‍රී ලංකා පන්දු රකින්නෝ විශාල ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට ඔවුන්ට ඉඩ සලසා දුන්හ.

“ඇත්තටම එය ඉතාමත් කලකිරෙන සුළුයි. මොකද මේ තරගාවලිය තුළදී අපි අතහැරපු උඩ පන්දු නිසා අපිට වුණ පාඩුව කියලා නිම කරන්න බැහැ. මේ වගේ තරගාවලියකදී උඩ පන්දු අත හැරලා තරග දිනන්න බැහැ. ප්‍රතිවාදීන්ව පීඩනය පත් කරන්න නම් අපි ලැබෙන අසීරු උඩ පන්දු පවා රැකගන්න ඕන. ඒ නිසා දිගින් දිගටම පුහුණු කාර්ය මණ්ඩයලය ඒ පිළිබඳව දැඩි අවධානයක් ‍යොමු කළා.”

“ඒත් කියන්න කණගාටුයි, අපිට තවත් දියුණු කරගත යුතු ‍හුඟක් තැන් තියෙනවා. ඒ ඒ තරගවලදි පවතින  තත්වයන් අනුව ක්‍රීඩකයන්ගෙ මානසිකත්වය වෙනස් වෙනවා. ඒ වගේම තමයි උඩ පන්දු ගිළිහුණාම ක්‍රීඩකයන් මානසිකව වැටෙනවා. ඒ වෙලාවට ඔවුන්ගේ මානසිකත්වය ආයෙමත් සාමාන්‍ය තත්වයට ගේන එක තමයි මුලින්ම කරන්න ඕන.” යැයිද සිල්වර්වුඩ් මහතා එහිදී කියා සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලි‍යේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වූ ඇතැම් තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබූ නමුත් ඇතැම් වැරදී තීරණ සහ පාලනය කළ නොහැකි සිදුවීම් හේතුවෙන් එම අවස්ථා ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගිය බවද මාධ්‍ය හමුවේදී සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය. පාකිස්තානයට, ඇෆ්ඝනිස්ථානයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග ජයගැනීමට ශ්‍රී ලංකාවට එහිදී හොඳ අවස්ථාවක් තිබූ බව ඔහුගේ මතය විය.

“සමහර තරග ජයගැනීමට තිබුණු අවස්ථා අපෙන් ගිළිහුණේ ඉතා සියුම් තැන් වලින්. දැන් ඒ ගැන පසුතැවිලා වැඩක් නැහැ. පරාජය ගැන විග්‍රහයක් අවශ්‍යයි තමයි. ඒත් ඊට කලින් ක්‍රීඩකයන්ගේ හැඟීම් සමතයකට පත්වෙන්න යම් කාලයක් ලබා දෙන්න ඕන කියලා මම හිතනවා. මො‍කද දිගින් දිගටම ලැබූ පරාජයන් හමුවේ ඔවුන් ශාරීරිකවත්, මානසිකවත් විශාල පසුබෑමකට ලක්වෙලා ඉන්නෙ.”

“මේ  තරගාවලියෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මම හිතනවා. අපේ ගොඩක් ක්‍රීඩකයන් තවමත් තරුණයි. ඔවුන්ට ලොකු අනාගතයක් තියෙනවා. ඒ නිසා දැන් අපි කරන්න ඕන වැරදුන් තැන් මොනවද කියලා තේරුම් අරන්, නැවත ඒ වැරදි සිදු නොවෙන්න ඒවට විසඳුම් හොයන එක. මේ තරගාවලියෙදි ලැබුණු අත්දැකීම් අපේ ක්‍රීඩකයන්ට අනාගතයෙදි හුඟක් වැදගත් වෙයි.” යැයිද සිල්වර්වුඩ් මහතා පැවසීය.


අදහස් (1)

ගිළිහුණු උඩපන්දු රැකගත්තා නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා
  • A Saddened Cricket Fan Saturday, 11 November 2023 09:44 AM

    ඇත්තෙන්ම, අපේ පන්දු රකින්නන් හොඳින් කළා නම් පිතිකරුවන්ට ලකුණු රැස්කරන්න බැරිවෙනවා. එහෙනම් අපිට තරග දිනාගෙන ඇවිල්ලා අවසන් පූර්ව තරගයට තේරෙන්න තිබුණා. ලංකාව තරග 11ක් ත්‍රීඩා කරලා තරග 9ක්ම පැරදුණා...(පුහුණු තරග 02ත් එක්ක...) අනෙක් කණ්ඩායම් හොඳින් සෙල්ලම් කළා. අන්තිමේදී ලංකාව 9 වැනි ස්ථානයට පත්වුණා. මේ හින්දා ශූරයන්ගේ කුසලාන තරගාවලියටත් ඇතුළත් වෙන්නේ නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.