Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළොම්බියා සංචාරය ගැන පිටු 350 ක වාර්තාවක්

කොළොම්බියා සංචාරය ගැන පිටු 350 ක වාර්තාවක්

editorial - 2022 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළොම්බියාවේදී නිමාවට පත්වූ 19 වැනි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්කර හැරීමේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ඇතුළත් පිටු 350 කින් සමන්විත වාර්තාවක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා වෙත බාරදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ. මෙම වාර්තාව ක්‍රීඩා ඇමැතිවරයාට බාරදී ඇත්තේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ප්‍රධානීන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට මේ දක්වා ප්‍රතිචාරයක් පළවී නැතැයිද වාර්තාවේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කරුණු 66 ක් පදනම් කර ගනිමින් පිටු 350 කින් සමන්විත දීර්ඝත පැහැදිලි කිරීම් දැක්වෙන වාර්තාවක් ඊයේ (16) ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත බාරදීමට මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ.

කොළොම්බියාවේ කේලි නුවරදී  පැවැති19 වැනි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය අගෝස්තු 1 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වුණි. ඊට ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු හා නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්කර හැරීමේදී ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ හා වීසා ප්‍රමාදයක් මත අවසන් දින කීපයේදීම තරග සංචාරය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබුණි.  එහෙත් එම ගැටළු විසඳා ගනිමින් අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකකින් කේලි බලා පිටත් කර යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගත්තේය.

කොළඹ – කටාර් - රියෝ ද ජෙනෙයිරෝ හරහා දීර්ඝ ගුවන් ගමනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ කොටස් දෙකකින් ‘කේලි’ බලා පැමිණීමේදී ඇතිවූ ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් දුර පැනීමේ ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ ඒෂාන්ට තරග වැදීමේ අවස්ථාව අහිමි විය.

එහි බලපෑමෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මීටර 800 (කාන්තා) ඉසව්වට සහභාගීවීමටද නොහැකි වූ බව වාර්තා විය.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග සංචාරයේදී වූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ප්‍රකාශ කළේය. ඒ අතර තරග සංචාරයේ ඇතිවූ මෙම සිදුවීම් මලල ක්‍රීඩා ආයතනයේ අතපසුවීම් බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් චෝදනා නැගීම ක්‍රීඩා ඇමැතිවරයා විමර්ශනයක් කැඳවීමට ආසන්නතම හේතුවක් විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් පිරිසක් කරුණු විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා තිබූ බවද වැඩිදුරටත් වාර්තාවේ. ඒ අතර දැනගන්නට ලැබෙන තවත් තොරතුරකු වන්නේ කේලි තරග සංචාරය සඳහා නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමැතිවරයාගේ අනුමැතිය ලබාදීමත් දින ගණනාකින් ප්‍රමාදවූ බවයි.

මේ අතර  ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් හරහා පිටත්ව යාමේදී ඇතිවූ ගුවන් ප්‍රමාදයක් හේතුවෙන් රියෝ ද ජෙනයිරෝ ගුවන් තොටුපොළේ සිට කේලි බලා පිටත්වීමට ඔවුන් වෙන් කර ගෙන තිබූ ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාවද අහිමිව තිබේ. එහිදී ඊළඟ ගුවන් යානය ලබා ගැනීමට ඔවුන්ට සිදුවී ඇත්තේ පැය කීපයකම ප්‍රමාදයකින් පසුවය.  මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් පහසුකම් ලබාගත් අදාළ ගුවන් සේවා ආයතනයෙන් කිසියම් වන්දියක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අවධානය යොමු කර තිබේ.

මගින් සඳහා නිකුත් කෙරෙන ගුවන් ප්‍රවේශ පත්‍රයක රක්‍ෂණ ආවරණයක්ද ඇතුළත් වන බැවින් ඒ පිළිබඳව මලල ක්‍රීඩා බලධාරීන් අවධානය යොමු කර සිටින බවද වාර්තාවේ.

කේලි නුවරදී නිමාවට පත්වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉසව් කීපයක අවසන් තරගවලට නිර්දේශ වුවත් ඔවුන්ට පදක්කම් දිනා ගැනීමට නොහැකි විය. මෙතෙක් පැවැති කිසිඳු කනිෂ්ඨ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කමක් දිනා ගැනීමට සමත්ව නොමැත.


අදහස් (0)

කොළොම්බියා සංචාරය ගැන පිටු 350 ක වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.