Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිනිශ්චිතව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය මේ මස 23 වැනිදා ආරම්භ වේ. ජාතික පුහුණුකරු මිකී ආතර් මහතාට සහ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් තරගාවලිය දින කිහිපයකින් කල්ගිය නමුත් තරගාවලියට ඇතුළත් තරග සංයුතියේ කිසිදු වෙනසක් නොවේ.
කොදෙව් සංචාරයේ සම්පූර්ණ තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විතය.
ලබන අඟහරුවාදා (23 වැනිදා) දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සහ ඇමරිකා එක්සත් ජනපදය හරහා බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවා කරා ළඟා වෙයි. දින 3 ක නිරෝධායනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය මාර්තු මස 3 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි-20 තරගාවලියේ තරග තුනම කූලිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අන්තර්ජාතික තරග පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේද මෙයයි. ඇන්ටිගුවාහි පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගණය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණය වන අතර එක්දින තරග තුන මෙන්ම ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ එහිදීය.
සති 5 ක් පුරා පැවැත්වෙන සම්පූර්ණ තරගාවලියම නරඹන්නන්ට තහනම් වේ.
වසර 2020 මාර්තු මාසයේ සිට කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු වැනි සම්පූර්ණ තරගාවලිය මෙයයි. මෙම තරගාවලියට පෙර එංගලන්තයට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියක් පමණක් පසුගිය මාසයේදී ගාල්ලේදී පැවැත්විණ.
එලෙසින්ම කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තියෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් සමූහයේදී පැවැත්වෙන පළමු වැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලිය වන්නේද මෙම තරගාවලියයි. එහෙත් කොරෝනා වයිරසයට පළමුවෙන්ම අභියෝග කළ කොදෙව් ක්‍රීඩකයෝ වයිරසයේ ව්‍යාප්තිය උපරිම අයුරින් තිබියදී පවා එංගලන්තයේ ටෙස්ට් තරග සංචාරයක නිරත වීමෙන් පසුගිය වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ගුණාංග වලින් සමන්විත කණ්ඩායම ලෙසින්ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම්භාවනාවට පාත්‍ර වූහ.
එංගලන්ත සංචාරයෙන් පසුව කොදෙව් පිල නවසීලන්තයේ සහ බංග්ලාදේශයේද ක්‍රිකට් තරගාවලි දෙකකට සහභාගි වූයේ කොරෝනා වයිරසයේ බලපෑම තිබියදීමය.
කලින් පැවැති තරග කාල සටහන අනුව තරග කිහිපයක් ශාන්ත ලුසියාහිදී පැවැත්වීමටද නියමිතව තිබිණ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටත්වීම ප්‍රමාද වූ හෙයින් තරග සියල්ලම ඇන්ටිගුවාහිදී පැවැත්වීමට තීරණය කර තිබේ. කොදෙව් පිලේ අරමුණ වන්නේ අප්‍රේල් මස දෙවැනි සතියේදී ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියට පෙර ශ්‍රී ලංකා - කොදෙව් තරගාවලිය අවසන් කිරීමයි.
එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින සුපිරි ලීගයට අයත් තරගාවලියකි. ටෙස්ට් තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ලෝක ශූරතාවලියට අයත් තරගාවලියකි.
කොදෙව් සංචාරය වෙනුවෙන් මේ වන විට ක්‍රීඩකයන් 36 දෙනකුගෙන් සමන්විත සංචිතයක් පුහුණුවීම් වල නිරතව සිටින අතර ඔවුන් අතුරින් 35 දෙනෙක් පසුගියදා පැවැති කිලෝ මීටර 2 ක ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම්කර නොමැති අතර ඊට පෙර ජාතික තේරීම් කමිටුව නම්කළ යුතුව තිබේ.
තරග කාලසටහන
1 වැනි විස්සයි20 තරගය - මාර්තු 3 දා - කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
2 වැනි විස්සයි20 තරගය - මාර්තු 5 දා - කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
3 වැනි විස්සයි20 තරගය - මාර්තු 7 දා - කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
1 වැනි එක්දින තරගය - මාර්තු 10 දා - ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
2 වැනි එක්දින තරගය - මාර්තු 12 දා - ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
3 වැනි එක්දින තරගය - මාර්තු 14 දා - ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
දෙදින පුහුණු තරගය - මාර්තු 17 සහ 18 - කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
1 වැනි ටෙස්ට් තරගය - මාර්තු 21 සිට 25 දක්වා - ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
2 වැනි ටෙස්ට් තරගය - මාර්තු 29 සිට අප්‍රේල් 2 දක්වා - ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.