Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසලානය නැතත් පාකිස්තානය පැරදවීමේ අරමුණ

කුසලානය නැතත් පාකිස්තානය පැරදවීමේ අරමුණ

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය තරගාවලියේදී දිනාගත් අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය රැක ගැනීමේ අභිප්‍රාය අමතක කර ඉන්දියාව මේ මොහොතේ කල්පනා කරමින් සිටින්නේ හෙට (4) එජ්බැස්ටන් හී පැවැත්වෙන පාකිස්තානයට එරෙහි තරගය ජයගන්නා ආකාරය ගැනය.

ක්‍රීඩාවෙන් පමණක් නොව දේශපාලනීය, සංස්කෘතිකමය ආදී එකී නොකී හැම ආකාරයකින්ම පසමිතුරන් බවට පත්වී සිටින ඉන්දියාවත්, පාකිස්තානයත් අතර ඇති මේ විරසකය නිසා දෙපිල ක්‍රිකට් පිටියේ තරග වදින හැම අවස්ථාවක්ම මෙවැනි උණුසුමකුත්, දෙගිඩියාවකුත් මෙන්ම අන්තර්ජාතික මට්ටමේ ඉහළම අවධානයකුත් ඊට නිතැතින්ම ලැබේ.

මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙපිලම හෙට සහභාගි වන්නේ ඔවුන්ගේ පළමු තරගයටය. එය තවත් එක් තරගයක් පමණක් බව ඉන්දීය පිලේ නායක විරාට් කෝලි ඊයේ පෙරේදා නිතර නිතර කියා සිටියත් තරගයේ ජයග්‍රහණය ඉන්දීය පිලට කොයිතරම් වැදගත් වන්නේදැයි කෝලි නොදන්නවාම නොවේ. ඇරත් සටන්කාමී ක්‍රීඩකයකු ලෙස ප්‍රකට කෝලි ඇතුලු කණ්ඩායමට පාකිස්තානයට එරෙහිව තරගයක් ජයගැනීම යනු ලෝක කුසලානය දිනාගැනීමටත් වඩා ඉහවහා ගිය සතුටක් දනවන්නකි.

ක්‍රිකට් ක්‍රීඩාවට උමතුවෙන් මෙන් ඇලී ගැලී සිටින ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගෙන් පිරුණු මේ දෙරට හෙට එජ්බැස්ටන් හී දි තරග වදින ආකාරය ලොව පුරා මිලිනය ගණනාවක් ක්‍රීඩාලෝලීන් රූපවාහිනිය මගින් නරඹනු ඇතැයි දැනටමත් ඇස්තමේන්තු කර හමාරය.
 

‘ශූරයන්ගේ කුසලානය දිනන්න එපා....ඒත් පාකිස්තානය පරද්දන්න. අපි ඔයාලා ආපහු එද්දී පුදුම හිතෙන විදිහට පිලිගන්නම්..‘ මේ ඉන්දීය ක්‍රීඩාලෝලියකු ඊයේ ඒ.එෆ්.පී. පුවත්සේවයට පැවසූ කතාවය. එය ඔහුගේ පමණක් නොව ඉන්දියාවේ මිලියන 130ක ජනතාවගේ එකම පැතුමය.

දෙපාර්ශ්වය අතර පවතින දේශපාලනික ගැටුම දශක 2කට ආසන්න කාලයක් මේ දෙරට අතර ක්‍රිකට් තරග සඳහා ඔවුනොවුන්ගේ රටවල සංචාරය කිරීම නතර කර තිබේ. වසර 2012-13න් පසුව දෙරට අතර ද්විපාර්ශ්වික තරග පැවත්වුණේම නැත. දේශසීමා හරහා තම රටට ත්‍රස්තවාදය වැපිරීම නතර කරන තුර එවැනි තරග සඳහා අදහසක්වත් නැති බව ඉන්දියාව කියයි.

එබැවින් කළාතුරකින් දකින්නට ලැබෙන මෙවැනි තරගයක් අතපසු කරන්නට දෙරටේ ක්‍රීඩාලෝලීන් පමණක් නොව ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි කිසිවකු අත් හරින්නේ නැත.

හෙට තරගයේ ජයග්‍රහණය දෙපිලටම අතිශය වැදගත් වන්නේ දෙරට අතර පවතින එම දේශපාලනික ගැටුම නිසාම නොව අවසන් පූර්ව වටයේ තැනක් වෙන්කරගැනීමට එය කදිම අඩිතාලමක් වන බැවිනි.

‘කෝලි එක අතකට එහෙම කියන්න ඇත්තේ එයාගේ ක්‍රීඩකයන්ට වැඩිපුර පීඩනයක් දාන්න වුවමනා නැති නිසා වෙන්න ඇති..‘ ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු චේටාන් චවුහාන් එසේ කීවේ මෙය තවත් එක් තරගයක් බව ඉන්දීය නායකයා කළ ප්‍රකාශය අරභයාය.

‘මේක හරියට එංගලන්තයයි ඕස්ටේ්‍රලියාවයි අතර තරගයක් වගෙයි. දෙන්නම කැමැති නෑ අනිත් එක්කෙනාට පරදින්න.‘ දැනට නැගෙනහිර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස රාජකාරිය කරන චවුහාන් ඒ.එෆ්.පී. පුවත් සේවයට කීවේය.

ඉන්දියාව මේ වනතුරු පාකිස්තානයට එරෙහිව පැවැති කිසිම ලෝක කුසලාන ඕවර 50 තරගයක්වත්, විස්සයි20 තරගයක්වත් පරාජයට පත්වී නොමැත. හෙට තරගය ජයගැනීම ඉන්දියාවට තවත් අතකින් වැදගත් වෙන්නේ ඔවුන්ගේ කාණ්ඩයේ ශ්‍රී ලංකාවත්, දකුණු අප්‍රිකාවත් සිටින බැවිනි.

එසේ වුවත් ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ දී සිය පසමිතුරා සමග ගැටුණු අවස්ථා 3කින් දෙකක්ම ජයගැනීමට සමත්වී ඇති පාකිස්තානයේ අරමුණ වී ඇත්තේ හෙට තරගයේදී පුදුම හිතෙන පීඩනයක් වත්මන් ශූරයන්ගේ කුසලානයේ අයිතිකාර ඉන්දීය පිලේ හිස මතට පතිත කරවීමටය.

‘අපේ රටේ හැමෝටම ඕනේ පාකිස්තානය පරදිනවා දකින්නයි. ඇත්තම කියනවානම් මේක තරගයක් නෙවෙයි. මේක එහෙම පිටින්ම යුද්ධයක්.‘ එසේ කියමින්  තරගය නැරැඹීමට හෙට එජ්බැස්ටන්  පිටියේ රොද බඳින ඉන්දීය ක්‍රීඩාලෝලීන් එසේ කියති.

මේ දෙපිල පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් වරට එකිනෙකා හමුවුණු අතර එහිදී පාකිස්තානුවන් පරාජය කිරීමට සත්කාරක ඉන්දීය පිල සමත්විය. නමුත් මෑත ඉතිහාසයේ දෙපිල අතර පැවැති වඩාත්ම උණුසුම්කාරී තරගය වන්නේ 2007 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි. එදින පාකිස්තානුවන් පරදවා ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය පිල සමත්විය.

එසේ වුවත් අනපේක්ෂිත මොහොතක විස්මිත අයුරින් තරග ජයගැනීමට උපන් හපන්කම් දක්වන පාකිස්තානුවන් හමුවේ හෙට තරගය ලෙහෙසි නොවන බව කෝලි ඇතුලු ඉන්දීය පිල හොඳාකාරවම දනී.

ඔවුන්ගේ සැනසිල්ලට හේතු වී ඇත්තේ පිතිහරඹයෙන් මෙන්ම පන්දු යැවීමෙනුත් සිය ප්‍රතිවාදියාට වඩා තමන් ඉදිරියෙන් සිටීමය.

එය පාකිස්තානු පිලේ හිටපු නායක ෂහීඞ් අෆ්රිඩි පවා පිළිගත් කරුණකි. කලක් එක්දින හා විස්සයි20 ක්‍රිකට් පිටිය සෙලවූ මේ ප්‍රහාරාත්මක පිතිකරුවා කියා සිටින්නේ විරාට් කෝලි ඇතුලු අති භයානක පිතිකරුවන් රැසක්ම සිටින ඉන්දියාවට හෙට තරගයේදී වැඩි වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවකි. ලොව භයානක යැයි කියන ඕනෑම පන්දු යවන්නකු හම ගැසිය හැකි ප්‍රවේගකාරී පිතිහරඹ පෙළගැස්ම ඉන්දීය පිලට හෙට තරගය ජයගැනීමට සාධකයක් වනු ඇතැයි ද පාකිස්තානු පිලේ හිටපු නායකයා කියයි.

 

- 077


අදහස් (0)

කුසලානය නැතත් පාකිස්තානය පැරදවීමේ අරමුණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.