Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැන්ගරුවෝ ලෝක කුසලානයෙන් ජයපැන් බොති

කැන්ගරුවෝ ලෝක කුසලානයෙන් ජයපැන් බොති

editorial - 2021 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඡායාරූපය - රොයිටර් අනුග්‍රහයෙනි

(ශානුක අරවින්ද ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

මිචෙල් මාෂ්ගේ (නොදැවී 77) සහ ඩේවිඩ් වෝනර්ගේ (53) අගනා පිතිහරඹයන් හමුවේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 8 කින් නවසීලන්තය පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ (2021) විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්හ. මේ දක්වා එක්දින ලෝන කුසලාන 5 කට හිමිකම් කියන කැන්ගරුවෝ විස්සයි-20 ලෝක කුසලානයක පහස ලැබූ පළමු අවස්ථාව මෙය විය.

පළමු වරට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සහභාගි වූ නවසීලන්තයට එහිදී ලැබූ පරාජයත් සමග අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 2019 වසරේ සිට මේ දක්වා වසර 2 තුළ ලෝක ශූරතා තරගාවලි 3 ක අවසන් මහ තරගවලට සුදුසුකම් ලැබූ නවසීලන්තය, එහිදී ලැබූ දෙවැනි පරාජය මෙය විය. 2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූ නවසීලන්තයට, ජයගත හැකි වූයේ ඉන්දියාවට එරෙහිව මේ වසරේදී (2021) පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 2  ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී ‍වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කළ මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. නවසීලන්ත පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ මාෂ්, තමා මුහුණදුන් 31 වැනි පන්දුව ලෝන් ඕන් කළාපයට ඉහළින් ප්‍රේක්ෂකයන් අතරට යවමින් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. එය විස්සයි-20 ලෝක කුසලාන අවසන් තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයද විය.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාෂ්, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල් (නොදැවී 28) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 66 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී පන්දු 38 කට මුහුණදුන් වෝනර් හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. පන්දු 18 කදී වාර්තා වූ මැක්ස්වෙල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම, ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබාගත්තේය. එහිදී වාර්තාගත පිතිහරඹයක නිරත වූ නායක කේන් විලියම්සන් පන්දු 48 කදී වේගවත් ලකුණු 85 ක් රැස්කරමින් නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. ඉනිමේ 10 වැනි ඕවරය නිමා වීමට පෙර තමා මුහුණදුන් පන්දු 19 දී ලකුණු 18 ක් පමණක් ලබා සිටි විලියම්සන්, එම ඕවරය නිමාවීමෙන් අනතුරුව මුහුණදුන් පන්දු 29 දී ලකුණු 67 ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක්ද විය. මින් පෙර 2016 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංලගන්තයට එරෙහිව නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් මාලන් සමුවෙල්ස් එම වාර්තාව පිහිටුවා තිබිණ. නවසීලන්තය මෙම තරගයේදී ලබාගත් ලකුණු 172 ක ‍විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. මින් 2016 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්වෝ ලබාගත් ලකුණු 161 මින් පෙර කණ්ඩායමක් ලබාගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව විය.

ග්ලේන් පිලිප්ස් (18) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගෙ‍ාඩනැගූ විලියම්සන්, නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 170 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා අඩිතාලම දැමීය. 16 වැනි ඕවරයේදී මිචෙල් ස්ටාක්ට පන්න පන්නා පහරදුන් විලියම්සන්, එහිදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 22 ක් උදුරාගත්තේය. නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විලියම්සන්ට අනගි සහයක් දුන් පිලිප්ස්, පන්දු 17 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහරකින් සහ හත‍රේ පහරකින් සැරසුවේය.

නවසීලන්ත ඉනිමේ 18 වැනි ඕවරය යැවීම සඳහා පන්දුව අතටගත් ජොෂ් හෙසල්වුඩ්, එහි දෙවැනි සහ ‍පස්වැනි පන්දුවලදී පිලිප්ස් සහ විලියම්සන් පිටියෙන් ඉවත් කළේය. 17 වැනි ඕවරය අවසානයේ ලකුණු ලකුණු 144 කට කඩුලු 2 ක් ලෙස සටහන් වූ නවසීලන්ත ලකුණු පුවරුව, පන්දු 4 ක් තුළ කඩුලු 2 ක් බිඳවැටීමත් සමග ලකුණු 148 කට කඩුලු 4 ක් බවට පත්විය. හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 13 කදී ලකුණුු 24 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ජේම්ස් නීෂම් (නොදැවී 13) සහ ටිම් සෙයිෆර්ට් (නොදැවී 8) නවසීලන්ත කණ්ඩායම තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා‍ගෙන ගියහ. 

ඇඩම් සම්පාගේ පන්දුවක් හමු‍වේ ඩීප් මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි මාකස් ස්ටොයින්ස් අතට උඩ පන්දුවක් දෙමින් මාටින් ගප්ටිල් ලකුණු 28 කට දැවීයෑමත් සමග නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 48 කට සීමා විය. දැවී යන විට පන්දු 35 කට මුහුණදී සිටි ගප්ටිල්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වී තිබිණ. කෙ‍ෙස් වුවත් කෙමෙන් කෙමෙන් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූ විලියම්සන්, පන්දු 32 කදී හයේ පහරකින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

ලකුණු 10 ක් ලබා සිටියදී ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ (2.3) මාටින් ගප්ටිල් ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් අපොහොසත් වීම හේතුවෙන් ගප්ටිල්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවිය. එහෙත් යළිත් වරක් තමා අතින් එම වරදම සිදුනොවීමට වග බලාගත් වේඩ්, ජොෂ් හෙසල්වුඩේගේ පන්දුවක් හමුවේ දක්ෂ උඩ පන්දු රැකීමක නිරත වෙමින් ආරම්භක පිතිකරු ඩැරිල් මිචෙල් (11) පිටියෙන් ඉවත් කළේය.

මිචෙල්ගේ දැවී යෑමත් සමග නවසීලන්ත ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාල විය. ඕවර 4 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම, සිවුවැනි ඕවර‍යේ සිට 8 වැනි ඕවරය දක්වා ඕවර 4 තුළ ලකුණු 12 කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. එම පන්දු 24 න් 13 ක්ම නිලකුණු පන්දු වූ අතර එහිදී එක් වරක් හෝ පන්දුව හතරේ සීමාවෙන් පිටතට යැවීමට නවසීලන්ත පිතිකරුවන්ට නොහැකි වූහ.

කෙසේ වුවත් 9 වැනි ඕවරයේදී මිචෙල් මාෂ්ට පිට පිටම ගැසූ හතරේ පහර 2 ක් සමග ලකුණු 11 ක් රැස්කළ නවසීලන්ත පිතිකරුවෝ, 10 වැනි ඕවරය අවසන් වන විට සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 57 ක් දක්වා ඉහළ දමාගනිමින් යම් තරමකින් හිස එසවූහ. ලකුණු 21 ක් ලබා සිටියදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ කේන් විලියම්සන් ලබාදුන් උඩ පන්දුවක් ෆයින්‍ලෙග් කළාපයේ සිට බිම දැමූ ජොෂ් හෙසල්වුඩ්, නවසීලන්ත කණ්ඩායමට 11 වැනි ඕවරයේදී ලකුණු 19 ක් ලබාගැනීමට මාවත විවර කරදුන්නේය.


අදහස් (0)

කැන්ගරුවෝ ලෝක කුසලානයෙන් ජයපැන් බොති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.