
ග්‍රාමීය ක්‍රීඩා ප්‍රවර්ධන අළුත්ම සංවර්ධන වැඩසටහන් මාලාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 3000 කට ආසන්න මුදලක් වෙන් කෙරේ. ඒ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා කුසලතා පදනම් කර ගනිමින් ඔවුන් ජාතික පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා පංගු ක්‍රමයක් ද හඳුන්වාදේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (10) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ග්‍රාමීය පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා දක්ෂතාවලට වටිනාකමක් ලබාදීම සඳහා නව පංගු ක්‍රමය හඳුන්වා දෙන බවයි. එහිදී 9 වැනි ශ්‍රේණිය සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පසුවන සිසු සිසුවියන්ට ක්‍රීඩා කුසලතා පදනමින් ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව උදාවේ.
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ පරිදි නව වැඩසටහන් මාලාව ක්‍රීඩාංගණයක පහසුකමක්වත් නොමැති දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශ විශේෂයෙන්ම ඉලක්ක කරමින් ක්‍රියාවට නැගේ. එහිදී ක්‍රීඩාංගණ පහසුකම් නැංවීම අළුතින් ක්‍රීඩාංගණ ඉදිකිරීම හා ඒවායෙහි පුළුල් යටිතල පහසුකම් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 1500කට ආසන්න මුදලක් වැය කරයි. ඉදිකිරීමෙන් පසුව ක්‍රීඩාංගණ නඩත්තු කටයුතු මෙහෙයවීම සඳහා සෑම ක්‍රීඩාංගණයක් සඳහාම මහජන නියෝජිතයන්ගේ සමන්විත පරිපාලන කමිටුවක් බැගින් පත් කෙරේ.
“පසුගිය කාලයේ ක්‍රීඩාංගණ කියලා හදපු ඉදිකිරීම් ගැන අපට සෑහීමකට පත්වෙන්න බෑ. ක්‍රීඩාංගණ කියලා සමහර මඩගොහොරු ඉඩම්වල රුපියල් මිලියන 300ක් තරම් මහ වියදමක් කරලා ප්‍රේක්ෂකාගාර ඉදිකරලා තිබ්බා“ යයිද නාමල් රාපක්ෂ මහතා පැවසීය.
“ක්‍රීඩාංගණය ප්‍රයෝජනයට ගන්න බෑ. මේ වගේ දේවල් ඉදිරියේ දී වෙන්න දෙන්න බෑ. මින් පස්සේ අපේ අමාත්‍යාංශය මැදිහත්වෙලා හදපු හැම ක්‍රීඩාංගණයකම ප්‍රමිතිය හා තත්ත්වය ගැන අපි සැලකිලිමත් වෙනවා“ යැයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර ග්‍රාමීය ක්‍රීඩාංගණ ඉදිකිරීම් කටයුතු අවසන් කරමින් එහිදී ක්‍රීඩා උත්සව ඇරඹීමට ද මෙම වැඩසටහන යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
යෝජිත ප්‍රධාන ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් මාලාව මෙසේය.
♦ තෝරාගත් පාසල් 100ක ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණ කිරීම. ඒ සඳහා එක් ක්‍රීඩාංගණයකට රුපියල් ලක්ෂ 32ක් බැගින් වෙන් කෙරේ.
♦ තෝරා ගත් ග්‍රාමීය පාසල් සඳහා රුපියල් මිලියන 380ක වටිනාකමින් යුත් ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම. මෙහිදී කලාපයකට එක් පාසල බැගින් තෝරා ඔවුන්ට ලබාදී ක්‍රීඩා උපකරණ අවට පාසල්වලට ප්‍රයෝජනයට ද ලබාදීමේ පහසුකම් ඇති කිරීම.
♦ ජාතික ක්‍රීඩා පාසල් 12ක යටිතල පහසුකම් ත්‍රිවිධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් වැඩි දියුණු කිරීම. වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 250කි.
♦ දිවයින පුරා පිහිටි මහජන ක්‍රීඩාංගණ 200ක් පළාත් පාලන ආයතන හවුල් කර ගනිමින් මූලික පහසුකම් සහිතව සංවර්ධනය කිරීම. එක් ක්‍රීඩාංගණයක් සඳහා මේ යටතේ රුපියල් මිලියන පහක් බැගින් වෙන් කෙරේ. රුපියල් මිලියන 1000ක් ව්‍යාපෘතියට වැය කෙරේ.
♦ කණ්ඩායම් ක්‍රීඩා ඉලක්ක කරමින් ක්‍රීඩාංගණ පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ තෝරා ගනිමින් කුඩා ක්‍රීඩාංගණ 332ක් ඉදිකිරීම- අපේක්ෂිත වියදම රුපියල් මිලියන 500කි. එක් ව්‍යාපෘතියක් සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 15කි.
♦ දිවයින පුරා ක්‍රීඩා සමාජ හා යෞවන සමාජ ඉලක්ක කරමින් සියලු ග්‍රාමසේවා වසම් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා උපකරණ ප්‍රදානය - ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා රුපියල් මිලියන 350ක් වෙන්කර ඇත.
♦ සම්ප්‍රදායික ජන ක්‍රීඩා යළි ජනගත කිරීම් හා ඒ සඳහා පර්යේෂණ ආරම්භ කිරීම හා ප්‍රදර්ශනාත්ම තරග පැවැත්වීම සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කිරීම.
♦ ක්‍රීඩාව කෙරෙහි මහජන ආකර්ෂණය ඇති කිරීමේ ප්‍රධාන වැඩසටහනක් රුපියල් මිලියන 100ක වියදමින් දියත් කිරීම මේ සඳහා ශ්‍රව්‍ය හා දෘෂ්‍ය සන්නිවේදන වැඩසටහන්, සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ජාලා යොදා ගනමින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීම.
♦ එළඹෙන සිංහල අවුරුදු උත්සවය ඉලක්ක කරමින් ක්‍රීඩාව කෙරෙහි මහජන පිබිදීමක් ඇති කිරීම සඳහා මාර්ග ධාවන හා පාපැදි (ස්ටෑන්ඩඩ්) තරග මාලා 25ක් බැගින් පැවැත්වීමට කටයුතු කෙරේ. ඒ සඳහා රුපියල් 15ක් වෙන් කෙරේ.
♦ ‘යොවුන් සුවයට ක්‍රීඩාව’ වැඩසටහන යටතේ රටේ යොවුන් පරපුර මානසිකව මෙන්ම අධ්‍යාත්මික වශයෙන් ද සවිබල ගැන්වීම- ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ජයවර්ධනපුර විදුහල සමග එක්ව ඒකාබද්ධව වැඩසටහන් සකස් කිරීම.
♦ ජාතික ක්‍රීඩා පාසල් 10ක් සඳහා මීටර 130ක් 150ත් අතර වන කෘත්‍රිම පුහුණු ධාවන පථ ඇති කිරීම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.