Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමතිගෙන් අයි.සී.සී. යට අභියාචනයක්

ක්‍රීඩා ඇමතිගෙන් අයි.සී.සී. යට අභියාචනයක්

editorial - 2023 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දේශපාලන ඇඟිලි ගැසීම් ඇතැයි කියමින්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවන ලද තහනම ඉවත් කරවාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියයි. කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශයේ පිහිටි ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී අද (11 වැනිදා) පැවැති විශේෂ පුවත් පත් සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව කියා සිටියේය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිකුරාදා රාත්‍රියේ ගන්නා ලද ක්‍රියාමාර්ගය “නීති විරෝධී” බවත්, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආරවුල් විසඳීමේ කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට පනවන ලද තහනම නීති විරෝධීයි. එල්ල වෙලා තියෙන චෝදනාවට ප්‍රතිචාර දැක්වීමටවත් අවස්ථාවක් නොදී, ද්වේෂ සහගත ලෙස අපගේ රට තහනම් කළා” යයි ක්‍රීඩා ඇමතිවරයා මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම සඳහා තේරී පත් වූ ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට “දේශපාලන ඇඟිලි ගැසීම්” ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කර ඇති නමුත් අදාළ චෝදනා නිශ්චිතව දක්වා නොමැති බව ද ඇමතිවරයා කීවේය. 

“පළමුව, අපට චෝදනා තිබිය යුතුයි. ඊට පස්සේ ඒවාට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් තිබිය යුතුයි. ....අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් අපට සහනයක් ලබා ගැනීමට බැරි වුණොත්, අපි ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යනවා.” යයි ද ඇමතිවරයා කීවේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිකුරාදා (10 වැනිදා) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි මව් සංගමයේ සාමාජිකයෙකු වශයෙන්, තම වගකීම් බරපතල ලෙස කඩ කරමින් සිටින බවයි. “තම කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීම සහ එහි කටයුතු සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බව ඔවුන් විසින් සහතික කළ යුතු වෙනවා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. 

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන ගණනින් මුදල් වංචා සිදුවන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරී පත් වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට පෙර නොවූ විරූ දූෂණ චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වන ලෙස පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී කරන ලද යෝජනා සම්මත කිරීමකින් දිනකට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවන ලදි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි පසුව තීරණය කරනු ඇති බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේ වෙතත් 2024 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත, වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවට මෙම දින නියමයක් නොමැතිව අත්හිටුවීම කෙසේ බලපානු ඇත්ද යන්න ක්ෂණිකව පැහැදිලි නොවීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිවක් නිවේදනය කර නැත. 

රටවල් 16 ක් ක්‍රීඩා කරන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඩොලර් මිලියන 2.4 ක් ප්‍රදානය කිරීමට නියමිතය. 
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය 6 වැනිදා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින්, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් සත් සාමාජික ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළේය. එහෙත් එදිනම සවස පැවැති කැබිනට් රැස්වීමකදී, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව අධීක්‍ෂණය කිරීම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඇමතිවරුන් තිදෙනකුගේ විශේෂ කමිටුවක් ද පත්කරන ලදි. 

එසේ වුවත් පැය 24 ක් ගතවීමටත් මත්තෙන්, අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය ක්‍රියාත්මක වීම දින 14 කට අත්හිටුවන ලද අතර ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු නැවතත් මූලස්ථානයට පැමිණ කටයුතු ආරම්භ කළහ. 

අන්තර්ජාතික ක්‍රිඩා සම්මේලන සියල්ලකම පාහේ පවතින මූලික කොන්දේසියක් වනුයේ එක් එක් රටවල ජාතික පාලක සංගම් හෝ සම්මේලන, සියලුම ආකාරයේ දේශපාලන බලපෑම් වලින් නිදහස් විය යුතු බවයි. එසේ නොවන අවස්ථාවලදී එම ජාතික සංගම් තම සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට අන්තර්ජාතික සම්මේලන වලට බලය තිබේ. 

එවන් අවස්ථාවකදී එම ක්‍රීඩාවේ ජාතික කණ්ඩායමට අන්තර්ජාතික තරග වලට සහභාගි විය නොහැකිය. 

(ඡායාරූපය - ගයාන් අමරසේකර)


අදහස් (1)

ක්‍රීඩා ඇමතිගෙන් අයි.සී.සී. යට අභියාචනයක්
  • An honest cricket fan Sunday, 12 November 2023 10:59 AM

    ඇමැතිතුමනි, ICC එකත් එක්ක වගඋත්තර බඳින්න ඕන වෙන එකක් නෑ..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.