අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලිය
කුසලානය වෙනුවෙන් තුන්කොන් සටනක්
(දමින්ද විජේසූරිය)
අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) ලීග් තරගාවලියේ අවසන් සති අන්තය වන විට කෝල්ට්ස්, මුවර්ස් මෙන්ම ඒස් කැපිටල් පිලත් කුසලානයට අත පොවන දුරින් සිටිති. සුපිරි කණ්ඩායම් 8 අතර වටයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය (61.765) කුසලානයට වඩාත්ම ආසන්නයෙන් සිටින නමුත් මුවර්ස් (ප්‍රසාද ලකුණු 55.635) සහ ඒස් කැපිටල් (ප්‍රසාද ලකුණු 54.660) කණ්ඩායම් දෙකින් එකකට ද කුසලානය දිනාගැනීමේ අවස්ථාවක් නැතිවා නොවේ.
මේ දිනවල හවස් යාමයේ වර්ෂාවත් පැවතිය හැකි බැවින් ද, විෂේශයෙන්ම පල්ලෙකැළේ තත්ත්වය වඩාත් වෙනස් විය හැකි බැවින් ද, කුසලානය නැඹුරුව ඇත්තේ කා දෙසටද යන්න අනාවැකි කීම අතිශයින් අසීරු කාර්යයකි.
කණ්ඩායම් 14 ක් සහභාගි වූ තරගාවලියේ මූලික වටයෙන් පසුව එක් එක් කාණ්ඩයන්හි ඉදිරියෙන් පසුවූ කණ්ඩායම් 4 එකට එකතු කරමින් සුපිරි 8 වටයේ තරග ආරම්භ විය. සුපිරි 8 වටයේ සති 6 ක් නිමාවේදී පිළිවෙලින් කෝල්ට්ස් (61.765), මුවර්ස් (55.635) සහ ඒස් කැපිටල් (54.660) යන කණ්ඩායම් සෙසු කණ්ඩායම් සමග තරගයෙන් මිදී ඉදිරියට පැමිණ සිටිති. කෙසේ වෙතත් මේ සති අන්තයේ පැවැත්වෙන තරග අනුව එන්.සී,සී. සහ කෝල්ට්ස් පිල අතර පල්ලෙකැළේදී පැවැත්වෙන තරගය තීරණාත්මක මුහුණුවරක් ගනු ඇත.
මෙම තරගය පරාජය නොවීමේ තත්ත්වය මත, එන්.සී.සී, පිල මුල් ඉනිමේදී පරාජය කිරීමත් පළමු පෙළ කුසලානය දිනාගැනීම සඳහා කෝල්ට්ස් පිලට ප්‍රමාණවත් වන නමුත් ඒ අතරවාරයේදී මුවර්ස් සහ ඒස් කැපිටල් කණ්ඩායම් දෙකටම පූර්ණ ජයග්‍රහණ නොමැතිවීමත් එන්.සී.සී, පිලේ අතිරේක බලාපොරොත්තුවකි. යම් හෙයකින් අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස් හෝ ඒස් කැපිටල් කණ්ඩායම් සමත් වුවහොත්, කෝල්ට්ස් ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන්වනු ඇත.
මෙවර සති අන්තයේදී (මාර්තු 27-28-29) පැවැත්වීමට නියමිත තරග
■ එස් කැපිටල් සහ පොලිසිය අතර එන්.සී.සී. පිටියේදී
■ මුවර්ස් සහ සී.සී.සී. අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ එන්.සී.සී. සහ කෝල්ට්ස් අතර පල්ලෙකැළේදී
■ බී.ආර්.සී. සහ බ්ලූම්ෆීල්ඩ් අතර ගාල්ලේදී