Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් සටනට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් සටනට

editorial - 2023 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ සිට..)

පනස් දහසකට ආසන්න නරඹන්නන් පිරිසක් ඉදිරියේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‍යේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඒ අනුව එළබෙන 19 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට ‍එරෙහිව ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසෙනු ඇත.  

පස්වරක් එක්දින ලෝක ශූරයන් බවටත්, දෙවරක් අනු ශූරයන් බවටත් පත්ව සිටින සිටින ඕස්ට්‍රේලියාව, එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය විය. එමෙන්ම දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ පස්වැනි අවස්ථාවද මෙය විය. මින් පෙර 1999 සහ 2007 වසරවලදීද ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානුවෝ ඕවර 47.2 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. මිචෙල් ස්ටාක් නොදැවී ලකුණු 16 ක්ද, නායක පැට් කමින්ස් නොදැවී ලකුණු 14 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් දැඩි උත්සාහයන්හි නිරත වුවද, පන්දු රකින්නන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිළිහී යෑම හේතුවෙන් එම උත්සාහයන් අසාර්ථක විය.

ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 133 කට කඩුලු 3 ක් ලෙස සටහන් වූ අවස්ථාවේදී මානස් ලැබුුෂේන් කඩුල්ල මුවා කිරීමේ වරටද හසුකර ගත් තබ්‍රේෂ් ශම්සි, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ලද බිඳ දමමින් දකුණු අප්‍රිකාවට ජයගහණයේ බලාපොරොත්තු ගෙන ආවේය. එහෙත් ඉතා ඉවසිලිවන්ත ඉනිම් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් පන්දු 62 කදී ලකුණු 30 ක්ද, ජොෂ් ඉංග්ලිෂ් පන්දු 49 කදී ලකුණු 28 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගියහ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ට්‍රැවීස් හෙඩ් (62) සහ ඩේවිඩ් ‍වෝනර් (29) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් යැවූ පළමු පන්දුවෙන්ම වෝනර්ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වූ ඒඩ්න් මාක්‍රම්, එම සම්බන්ධතාවට තිත තැබුවේය. පන්දු 18 කදී වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. ‍

වෝනර්ගේ දැවී යෑමෙන් පන්දු 9 කට පසුව මිචෙල් මාෂ්ද ලකුණු නොළබා දැවී ගියේ කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ රාසි වැන්ඩර් ඩූසන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙනි. එහෙත් සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වීමට ඉඩක් ‍නොතැබූ ට්‍රැවීස් හෙඩ්, පන්දු 48 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.

ජෙරල්ඩ් කොයෙට්සර්ගේ සහ තබ්‍රේස් ශම්ෂිගේ පන්දු හමුවේ හෙඩ් ලබා දුන් උඩ පන්දු 2 ක් බිම දැමූ රීසා හෙන්ඩ්‍රික්ස් සහ හෙන්රිච් ක්ලාසන් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව සලසා දුන්හ. එහෙත් 15 වැනි ඕවර‍‍යේදී පන්දුව අතට ගත් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වන කේෂව් මහරාජ්, තමාගේ පළමු පන්දුවෙන්ම හෙඩ් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව, ඩේවිඩ් මිලර්ගේ ධෛර්යවන්ත පිතිහරඹය හමුවේ ඕවර 49.4 අවසන් වන විට සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ මිලර්, 12 වැනි ඕවරයේදී පිටියට පිවිස 48 වැනි ඕවරය දක්වා එක් අන්තයක් රැ‍කගෙන පන්දුවට පහරදෙමින් පන්දු 116 කදී ලකුණු 101 ක් රැස්කළේය. ඔහුගේ 6 වැනි එක්දින ශතකය වූ එය හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

ලකුණු 24 කට කඩුලු 4 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව සිටි දකුණු අප්‍රිකාව ඉන් මුදවාගත් මිලර්, පස්වැනි කඩුල්ල වෙනුවෙන් හෙන්රිච් ක්ලාසන් (47) සමග එක්ව පන්දු 113 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එහෙත් පිට පිටම යැවූ පන්දු දෙකකදී ක්ලාසන් මෙන්ම මාකෝ ජැන්සන්ද පිටියෙන් ඉවත් කළ ට්‍රැවීස් හෙඩ් යළිත් වරක් තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙසට හැරවීය.

කෙසේ වුවත් උත්සාහයක අත්නොහළ මිලර්, අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජෙරල්ඩ් කොයෙට්සර් (19) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහාද පන්දු 76 කින් ලකුණු 53 ක් එක් කළේය. එහෙත් උරහිසේ වැදී ගිය පන්දුවක් අත්ආවරණයේ වැදුණු බවට නිගමනය කරමින් විනිසුරු ලබාදුන් වැරදි තීරණයක් හේතුවෙන් කොයෙට්සර් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කළ මිචෙල් ස්ටාක් නොකඩවා ඕවර 7 ක්ද, ජොෂ් හෙසල්වුඩ් නොකඩවා ඕවර 6 ක්ද යවමින් මුල් ඕවර 13 තුළ දකුණු අප්‍රිකාව ලකුණු 32 කට සීමා කළහ. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම ආපසු ක්‍රීඩ‍ාගාරය වෙත හරවා යැවීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.  

පළමු ඕවරයේ අවසන් පන්දුවේදී දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පිටියෙන් ඉවත් කිරීමට ස්ටාක් සමත් වූයේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. මෙවර තරගාවලියේදී ශතක 4 ක් සමග ලකුණු 594 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අත‍ර දෙවැනි ස්ථාන‍යේ පසුවූ ක්වින්ටින් ඩි’කොක්ට (3) මෙම තරගයේදී ලකුණු අතර පිවිසීමට හොසල්වුඩ් ඉඩක් ලබා නොදුන්නේය.

ස්ටාක්‍ගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කළාප‍යේ පන්දු රකිමින් සිටි ඩේවිඩ් ‍වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඒඩ්න් මාක්‍රම් පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක් ලබා සිටියේය. පන්දු 30 ක් පුරා කඩුල්ල රැකගෙන සිටි රාසි වැන්ඩර් ඩූසන්, හෙසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ දෙවැනි ස්ලිප් ක්‍රීඩක‍යා ලෙස පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ලබා සිටියේ ලකුණු 6 ක් පමණි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා නොකළ ග්ලේන් මැක්වෙල් සහ එම තරගයේදී විවේක ගැන්වූ මිචෙල් ස්ටාක් මෙම තරගයේදී යළිත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත්ව සිටියහ. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති අවසන් තරගයට ක්‍රීඩා කළ ලුංගි න්ගිඩ්ට මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ අතර ඔහු වෙනුවට ක්‍රීඩක ත‍බ්‍රේෂ් ශම්ෂි කණ්ඩායමට කැඳවා සිටියේය.

 

දකුණු අප්‍රිකාව
ක්වින්ටින් ඩි’කොක් - ඇ.කමින්ස් ප.හෙසල්වුඩ් 3
ටෙම්බා බවුමා - ඇ.ඉංග්ලිෂ් ප.ස්ටාක්                 0
රාසි වැන්ඩර් ඩූසන් - ඇ.ස්මිත් ප.හෙසල්වුඩ්       6
ඒඩ්න් මාක්‍රම් - ඇ‍.වෝනර් ප.ස්ටාක්                10
හෙන්රිච් ක්ලාසන් - ප.හෙඩ්                           47
ඩේවිඩ් මිලර් - ඇ.හෙඩ් ප.කමින්ස්                 101
මාකෝ ජැන්සන් - ක.මු. කළා ප.හෙඩ්               0
ජෙරල්ඩ් කොයෙට්සර් - ඇ.ඉංග්ලිෂ් ප.කමින්ස් 19   
කේෂව් මහරාජ් - ඇ.ස්මිත් ප.ස්ටාක්                   4
කගිසෝ රබාඩා - ඇ.මැක්ස්වෙල් ප.කමින්ස්    10
තබ්‍රේස් ශම්සි - නොදැවී                                    1
අතිරේක                                                        11
එකතුව ඕවර 49.4 කදී සියලු දෙනා දැවී         212

කඩුලු වැටීම :
1-01(බවුමා), 2-08(ඩි’කොක්), 3-22(මාක්‍රම්), 4-24(ඩූසන්), 5-119(ක්ලාසන්), 6-119(ජැන්සන්), 7-172(කෙයෙට්සර්), 8-191(මහරාජ්), 9-203(මිලර්), 10-212(රබාඩා)

පන්දු යැවීම :
මිචෙල් ස්ටාක් 10-1-34-3, ජොෂ් හෙසල්වුඩ් 8-3-12-2, පැට් කමින්ස් 9.4-0-51-3, ඇඩම් සම්පා 7-0-55-0, ග්ලේන් මැක්ස්වෙල් 10-0-35-0, ට්‍රැවීස් හෙඩ් 5-0-21-2


ඕස්ට්‍රේලියාව
ට්‍රැවීස් හෙඩ් - ප.මහරාජ්                                  62
ඩේවිඩ් වෝනර් - ප.මාක්‍රම්                              29
මිචෙල් මාෂ් - ඇ.ඩූසන් ප.මාෂ්                          0
ස්ටීවන් ස්මිත් - ඇ.ඩි’කොක් ප.කොයෙට්සර්    30
මානස් ලැබුෂේන් - ක.මු. කළා ප.ශම්ෂි            18
ග්ලේන් මැක්ස්වෙල් - ප.ශම්ෂි                          1
ජොෂ් ඉංග්ලිෂ් - ප.කොයෙට්සර්                      28
මිචෙල් ස්ටාක් - නොදැවී                                 16
පැට් කමින්ස් - නොදැවී                                   14
අතිරේක                                                        17
එකතුව ඕවර 47.2 කදී කඩුලු 7 ක් දැවී           215

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ්

කඩුලු වැටීම :
1-60(වෝනර්), 2-61(මාෂ්), 3-106(හෙඩ්), 4-133(ලැබුෂේන්), 5-137(මැක්ස්වෙල්), 6-174(ස්මිත්), 7-193(ඉංග්ලිෂ්)  

පන්දු යැවීම :
මාකෝ ජැන්සන් 4.2-0-35-0, කගිසෝ රබාඩා 6-0-41-1, ඒඩ්න් මාක්‍රම් 8-1-23-1, ජෙරල්ඩ් කොයෙට්සර් 9-0-47-2, තබ්‍රේස් ශම්ෂි 10-0-42-2, කේෂව් මහරාජ් 10-0-24-1


අදහස් (0)

ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.