Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලාන දිනති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලාන දිනති

editorial - 2023 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද අහමදාබාද් නුවර සිට..)

සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ අද (19 වැනිදා) සමත් වූහ. මෙවර ඔවුන් ලෝක කුසලානට හිමිකම් කීවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කරමිනි.

එක්දින ලෝක කුසලාන තරගාවලියක පූර්ණ සත්කාරත්වය දැරූ රටක් එහි අවසන් මහ තරගයට පැමිණ පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය. මින් පෙර 1979 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්වී තිබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ඕවර 43 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් (137) සහ මානස් ලැබුෂේන් (නොදැවී 58) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 192 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියහ.  

ලකුණු 47 කට කඩුලු 3 ක් බිඳවැටී ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු තත්වයකට පත්ව තිබියදී සම්බන්ධතාව ආරම්භ කළ හෙඩ් සහ ලැබුෂේන් එය නිමා කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් පසුපසින් සිටියදීය. එය ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු එක්ව ‍‍ගොඩනැගූ දෙවැනි ඉහළම සම්බන්ධතාව ලෙසද වාර්තා අතරට එක් විය.

පන්දු 120 කට මුහුණදුන් හෙඩ් හයේ පහර 4 කින් සහ හතරේ පහර 15 කින් සිය 5 වැනි එක්දින ශතකය සැරසූ අතර එම ඉනිමත් සමග එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ශතකයක් ලබාගත් 7 වැනි පිතිකරුවා බවටද ඔහු පත්විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ‍රැගෙන යෑම සඳහා හෙඩ්ට අනගි සහායක් දුන් ලැබුෂේන්, පන්දු 110 කින් සිය 11 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේ හතරේ පහර 4 ක් සමගිනි.

දෙවැනි ඕවරය යැවීම සඳහා කැඳවූ මොහොමඩ් සාමි, තමා යැවූ පළමු පන්දුවේදීම ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් (7) පිටියෙන් ඉවත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පීඩනයට පත් ‍කළේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ජස්ප්‍රීට් බුම්රා, දෙවැනි සහ තෙවැනි කඩුලු ලෙස මිචෙල් මාෂ් (15) සහ ස්ටීවන් ස්මිත් (4) දවාගනිමින් එම පීඩනය තවත් වැඩි කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240 ක් පමණි. බිඳවැටුණු කඩුලු 10 න් 7 කටම හිමිකම් කීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී මි‍චෙල් ස්ටාක් කඩුලු 3 ක්ද, නායක පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 2 බැගින්ද බිඳහෙළූහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දැක්වීමට කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉංග්ලිෂ් සමත් වූයේ තමාවෙත පැමිණි උඩ පන්දු 5 ක්ම සුරැකිව රැකගනිමිනි.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී පැය 2 කට වැඩි කාලයක් එක් අන්තයක් රැකගෙන ‍පිතිහරඹයේ නිරත වූ ලෝකේෂ් රාහුල්, පන්දු 107 කදී හතරේ පහරක් සමග ලකුණු 66 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. 42 වැනි ඕවරයේදී ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ රාහුල් දැවී ගිය අතර එතැන් පටන් ලකුණු 37 ක් ඇතුළත ඉන්දීය කණ්ඩායමේ ඉතිරි කඩුලු 4 ද බිඳවැටිණ.

ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක් ලබාගත්තේය. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී ග්ලේන් මැක්ස්වෙල් හමුවේ ගැසූ පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව, පසුපසට දිව යමින් විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට ට්‍රැවීස් හෙඩ් සමත් වීමත් සමග ශර්මාගේ ඉනිම නිමාවට පත් විය.

පිට පිටම ශතක 2 ක් ලබා සිටි ශ්‍රෙයාස් අයියර්ද, ශර්මාගේ දැවී යෑමෙන් පන්දු 4 කට පසුව පිටියෙන් ඉවත්ව යෑම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 81 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට ඇද වැටිණ. එහෙත් රාහුල් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විරාට් කෝලි (54) කඩා වැටී තිබූ ඉන්දීය ඉනිමට ජවයක් එක් කළේය.

ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ කෝලි දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ පසුපස පාදයේ ආරක්ෂාකාරී පහරකට යෑමේදී පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල්ල මතට පතිත වීම හේතුවෙනි. කෝලිගේ දැවී යෑමෙන් අනතුරුව පිතිහරඹ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණි රවින්ද්‍ර ජදේජා (9), සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 30 ක් එක් කිරීමට රාහුල් සමත් විය. ‍

 

ඉන්දියාව
රෝහිත් ශර්මා - ඇ.හෙඩ් ප.මැක්ස්වෙල්        47
ශුබ්මන් ගිල් - ඇ.ගිල් ප.ස්ටාක්                        4
විරාට් කෝලි -‍ප.කමින්ස්                              54
ශ්‍රෙයාස් අයියර් - ඇ.ඉංග්ලිෂ් ප.කමින්ස්           4
ලොකේෂ් රාහුල් - ඇ.ඉංග්ලිෂ් ප.ස්ටාක්         66
රවින්ද්‍ර ජදේජා - ඇ.ඉංග්ලිෂ් ප.හෙසල්වුඩ්        9
සූර්යකුමාර් යාදව් - ඇ.ඉංග්ලිෂ් ප.හෙසල්වුඩ් 18
මොහොමඩ් ශාමි - ඇ.ඉංග්ලිෂ් ප.ස්ටාක්          6
ජස්ප්‍රීට් බුම්රා - ක.මු. කළා ප.සම්පා                 1
කුල්දීප් යාදව් - දුවද්දී දැවී ගියා (ලැබුෂේන්)   10
මොහොමඩ් සිරාජ් - නොදැවී                          9
අතිරේක                                                      12
එකතුව ඕවර 50 කදී සියලු දෙනා දැවී          240

කඩුලු වැටීම :
1-30(ගිල්), 2-76(ශර්මා), 3-81(අයියර්), 4-148(කෝලි), 5-178(‍ජදේජා), 6-203(රාහුල්), 7-211(සාමි), 8- 214(බුම්රා), 9-226(සූර්යකුමාර්), 10-240(කුල්දීප්)

පන්දු යැවීම :
මිචෙල් ස්ටාක් 10-0-55-3, ජොෂ් හෙසල්වුඩ් 10-0-60-2, ග්ලේන් මැක්ස්වෙල් 6-0-35-1, පැට් කමින්ස් 10-0-34-2, ඇඩම් සම්පා 10-0-44-1, මිචෙල් මාෂ් 2-0-05-0, ට්‍රවීස් හෙඩ් 2-0-04-0

 

ඕස්ට්‍රේලියාව
ඩේවිඩ් වෝනර් - ඇ.කෝලි ප.සාමි                  7
ට්‍රැවීස් හෙඩ් - ඇ.ගිල් ප.සිරාජ්                     137
මිචෙල් මාෂ් - ඇ.රාහුල් ප.බුම්රා                   15
ස්ටීවන් ස්මිත් - ක.මු. කළා ප.බුම්රා                4
මානස් ලැබුෂේන් - නොදැවී                          58
ග්ලේන් මැක්ස්වෙල් - නොදැවී                       2
අතිරේක                                                      18
එකතුව ඕවර 43 කදී කඩුලු 4 ක් දැවී            241

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ්

කඩුලු වැටීම :
1-16(වෝනර්), 2-41(මාෂ්), 3-47(ස්මිත්), 4-239(හෙඩ්)

පන්දු යැවීම
ජස්ප්‍රීට් බුම්රා 9-0-43-2, මොහොමඩ් සාමි 7-1-47-1, රවින්ද ජදේජා 10-0-43-0, කුල්දීප් යාදව් 10-0-56-0, මොහොමඩ් සිරාජ් 7-0-45-1

අවසන් තරගයේ වීරයා - ට්‍රැවීස් හෙඩ්
තරගාවලියේ වීරයා - විරාට් කෝලි


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 6 වැනි වරටත් ලෝක කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.