Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පරදවති
යොවුන් ලෝක කුසලාන

ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පරදවති

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

 

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ බ්ලොයෙම්ෆොන්ටෙන්හිදි අද (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ රයන් හික්ස් පන්දු 104 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

ටොම් කැම්බල් (නොදැවී 33) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 82 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද එහිදී රයන් සමත් විය. ආරම්භක පිතිකරු හැරී ඩික්සන් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 208 ක් ලබාගත්හ. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන දක්ෂ පිතිහරඹයක නිරත වූ දිනුර කළුපහණ පන්දු 78 කින් ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 

ලකුණු 54 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ පිටියට පිවිසි දිනුර, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රවිෂාන් ද සිල්වා (30) සමග එක්ව පන්දු 69 කදී ලකුණු 46 ක් එක් කළේය. රවිෂාන්ගේ දැවී යෑමෙන් පසුව රූසඳ ගමගේ (10) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩැනැගීමටද දිනුර සමත් විය. 

ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ කැලම් විඞ්ලර් ඕවර 9 ක් යවමින් ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත්තේය. මාලි බියර්ඞ්මන් සහ ටොම් කැම්බල් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා විල්ඩර්ට අනගි සහායක් දුන්හ.  


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 208 
(සිනෙත් ජයවර්ධන 16, සුපුන් වඩුගේ 17, රවිෂාන් ද සිල්වා 30, දිනුර කළුපහණ 64, ශාරුජන් ශන්මුගනාදන් 21, කැලම් විඞ්ලර් 28/3, මාලි බියර්ඞ්මන් 20/2, ටොම් කැම්බල් 47/2) 

ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 48.5 කදී කඩුලු 4 දැවී 211 
(හැරී ඩික්සන් 49, සෑම් කොන්ස්ටස් 23, හර්ජාස් සිං 17, රයන් හිකිස් නොදැවී 77, ටොම් කැම්බල් නොදැවී 33, විෂ්ව ළහිරු 24/2) 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.