Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕෂධ - මධුෂ්ක විශිෂ්ට සම්බන්ධතාවක
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ඕෂධ - මධුෂ්ක විශිෂ්ට සම්බන්ධතාවක

editorial - 2023 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

ලකුණු 331 ක පීඩනයක් තිබියදීත්, ඒ ගැන වගේ වගක් නොමැතිව, චිත්තාකර්ශනීය පිතිහරඹයකට වන් ඕෂධ ප්‍රනාන්දු (114) සහ නිශාන් මධුෂ්ක (නොදැවී 91) ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිව්දින ටෙස්ට් තරගයේදී දෙවැනි දිනය වන අද (01 වැනිදා) එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ලකුණු 203 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ. අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228 ක් ලබා සිටියේය.

මුල් ඉනිමේදී මුහුණ දී සිටින දැවැන්ත අවාසිය හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවමත් ලකුණු 103 ක් පසුපසින් සිටියද තණතීරුවේ පවතින පිතිකරුවන්ට යෝග්‍ය ස්වභාවයත්, ශ්‍රී ලංකා ‘ඒ’ පිල සතුව කඩුලු 9 ක් තිබීමත් නිසා මෙම තරගයේදී සටනක් දිය හැකි ඉසව්වකට යාමේ අවස්ථාවක් සත්කාරක කණ්ඩායමට තිබේ.

දෙවැනි ඉනිම ආරම්භ කළ මොහොතේ සිටම කිසිදු කලබලයකින් තොරව, ක්‍රිකට් පොතේ පහර සියල්ලම උපයෝගී කරගනිමින් ලයන්ස් පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ඕෂධ සහ මධුෂ්ක දෙදෙනා තමන්ට ඇටවූ උගුළු කිහිපයකින්ම මිදී ලකුණු ලබාගත්හ. පිතිකරුවන් දෙදෙනාගේම විශේෂත්වය වූයේ පන්දු රකින්නන් නොමැති කලාප අතරින් පන්දුව හතරේ සීමාව කරා යැවීමයි.

ඕෂධ දැවී ගියේත් අති විශිෂ්ට උඩපන්දු රැකීමකිනි. ලියාම් පැටර්සන්ගේ පන්දුවකට ඉන්සයිඩ්-අවුට් පහරක් ගැසීමට උත්සාහ කළ ඕෂධගේ පිත්තේ වැදුණු පන්දුව ගුවනේ ඉහළ නැඟ ලෝන්ග් ඕෆ් කලාපයට ඇදී අවේය. එහෙත් පන්දුවෙන් ඇස ඉවතට නොගත් ඇලෙක්ස් ලීස් අවසන් මොහොතේදී ඒ වෙතට පනිමින් ඉතා දක්‍ෂ අයුරින් උඩපන්දුව රැක ගන්නා විට දිනයේ ක්‍රීඩාව අවසන් වීමට ඉතිරිව තිබුණේ ඕවර 8 ක් පමණි. ඕෂධගේ ඉනිම හතරේ පහර 18 කින් සමන්විත විය.

විනාඩි 200 ක පමණ කාලයක් තිස්සේ පන්දු 126 කට මුහුණ දෙමින්, ඒවායින් 13 ක් හතරේ සීමාවට යැවූ නිෂාන් මධුෂ්ක, තවත් එකක් හතරේ සීමාවට ඉහළින් යැවීය. මුරකරු පිතිකරු ලෙසින් පැමිණි ලක්‍ෂිත මානසිංහ ඉතාමත් හොඳින් ඉතිරි ඕවර කිහිපයට මුහුණ දුන්නේ තමන් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු බවට ඉඟි කරමිනි.

අපේක්‍ෂා කළාට වඩා බොහෝ ඉක්මනින් ලකුණු 400 කඩයිම පසුකළ එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 467 ක් ලබාගනිමින්, ලකුණු 331 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ.

පළමු දිනය අවසානයේදීම ලකුණු 113 ක් ඉදිරියෙන් සිටි ලයන්ස් පිතිකරුවෝ අද පෙරවරුවේදීත් කිසිදු තර්ජනයකින් තොරවම තමන්ට රිසි සේ ලකුණු ලබාගත්හ. පෙරවරුවේදී යැවුණු ඕවර 28 කින් ලයන්ස් පිතිකරුවන් ලකුණු 145 ක් ලබාගත්තේ ද ඕවරයකදී ලකුණු 5.18 ක වේගයක් රඳවා ගනිමිනි.

දිවා ආහාරයෙන් පසුවත් සිය ‘බස්බෝල්’ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ලයන්ස් පිතිකරුවෝ ඉනිම පුරාම රඳවාගත් ලකුණු ලබාගැනීමේ වේගය 5.30 කි. වෙනත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, විනාඩි 388 කින් ලකුණු 467 කි.

ලයන්ස් පිල වෙනුවෙන් අගනා ශතකයක් (118) ලබාගත් ටොම් හේන්ස් පන්දු 138 කට මුහුණ දීමෙන් පසුව ලක්ෂිත මානසිංහ හමුවේ දැවී ගියේය. හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් සමන්විත හේන්ස්ගේ ඉනිම ලයන්ස් පිතිහරඹයේ කේන්ද්‍රස්ථම්භය විය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ක්‍රීඩකයන් 22 දෙනකු ඇතුළත් කර තිබූ නමුත් මෙම තරගය සඳහා තවත් ක්‍රීඩකයන් දෙදෙනකු හදිසියේම කණ්ඩායමට එකතු කරන ලදි. ඔවුන් දෙදෙනාගෙන් කඩුලු රකින්නා වන සධීර සමරවික්‍රම තම කණ්ඩායම වෙනුවෙන් මුල් ඉනිමේදී වැඩිම ලකුණු ලාභියා වූයේය. එහෙත් පැරෂූටයෙන් බැස කණ්ඩායමට එක්වූ දුනිත් වෙල්ලාලගේට පන්දු යැවීමේ සාධාරණ අවස්ථාවක් නොතිබිණ.

ලයන්ස් ඉනිමේ ඕවර 76 කින් වෙල්ලාලගේ යවා තිබුණේ පන්දු ඕවර 5  කි. එසේ වන්නේ සෙසු පන්දු යවන්නන් හමුවේ ඕවරයකදී ලකුණු 5.00 කට වැඩි වේගයකින් ලකුණු ලබාගනිමින් සිටි අවස්ථාවකදීය.


අදහස් (0)

ඕෂධ - මධුෂ්ක විශිෂ්ට සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.