Last Update  :  2026-02-14 20:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට පහසු ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

එංගලන්තයට පහසු ජයක්

editorial - 2026 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අල්ලපු රටේ වූවත් ස්කොට්ලන්තය පහසුවෙන් අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමකි. මේ බව හොඳින්ම දන්නා එංගලන්තය තරගයට පිවිසියේ තරමක චකිතයෙනි. එහෙත් ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට රිසි සේ බැට දුන් ටොම් බැන්ටන්ගේ ඉන්දියාවේ කොල්කටා නුවරදී අද (14 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 5 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. 

මෙම ජයත් සමගින් එංගලන්තය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ‘සී’ කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණියේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ලකුණු 152 කට දැවී ගියේය. 

ලකුණු 153 ක ඉලක්කය කරා යාමට පිටියට පිවිසි එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන පිල් සෝල්ට් සහ ජොස් බට්ලර් දෙදෙනාම ලකුණු 13 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට ගියහ. ඉනිමේ අඩක් නිමාවෙද්දී ලකුණු 86 කට කඩුලු 4 ක් දැවී යාම නිසා තරගය සමබර තත්ත්වයකට පැමිණි නමුත් ටොම් බැන්ටන් සහ සෑම් කරන් එක්ව එංගලන්තය ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ. 

සෑම් කරන්, හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් පන්දු 20 කින් ලකුණු 28 ක් ලබාගනිද්දී ටොම් බැන්ටන් සුපුරුදු අනුකම්පා විරහිත පිතිහරඹයේ යෙදුණේය. සකොට්ලන්ත පන්දු යවන්නන් සෙල්ලමකට ගත් දකුණත් පිතිකරුවා 9 වැනි ඕවරයේදී මාක් වොට්ට දඬුවම් කළේ හයේ පහර තුනකිනි. පන්දු 41 කින් ලකුණු 63 ක් ලබාගත් බැන්ටන්, පළමුව ජේකබ් බෙතීල් (32) සමගත් පසුව සෑම් කරන් (28) සමගත් සාර්ථක සම්බන්ධතා දෙකක් ගොඩනැංවීය. 

නේපාල සහ කොදෙව් කණ්ඩායම් හමුවේ පන්දු 9 කින් ලකුණු 04 ක් පමණක් ලබාගත් බැන්ටන් තමන් කවුරුන්ද යන්න අද ලෝකයාට කියා දුන්නේය. බැන්ටන් තවමත් අත දිගහැරියා පමණි. ඔහුගේ පිත්තේ තරම ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.
 
ස්කොට්ලන්ත ඉනිමේදී නායක රිචී බැරිංටන් (49) සහ ටොම් බෲස් (24) අතර ලකුණු 71 ක සම්බන්ධතාවක් තිබුණ නමුත් ඉනිමේ පසු කොටසේදී අදිල් රෂීඩ් (36/3) සහ ලයාම් ඩෝසන් (34/2) කඩුලු දවාගත්හ. එබැවින් ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ස්කොට්ලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 25 කි. අදිල් රෂීඩ් සහ ලයාම් ඩෝසන් එක්ව පන්දු 4 ක ඇතුළතදී ටොම් බෲස්  සහ රිචී බැරිංටන් දෙදෙනාම දවාගත් හෙයින් ස්කොට්ලන්තය අමාරුවේ වැටුණේය. 


ස්කොට්ලන්තය - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 155 යි
(මයිකල් ජෝන්ස් 33, රිචී බැරිංග්ටන් 49, ටොම් බෲස් 24, ඔලිවර් ඩේවිඩ්සන් නොදැවී 20, ජොෆ්රා ආචර් 24/2, අදිල් රෂීඩ් 36/3, ලයාම් ඩෝසන් 34/2)

එංගලන්තය - ඕවර 18.2 කදී කඩුලු 5 ක් දැවී 155 යි
(ජේකබ් බෙතීල් 32, ටොම් බැන්ටන් නොදැවී 63, සෑම් කරන් 28, විල් ජැක්ස් නොදැවී 16)

 - 213


අදහස් (0)

එංගලන්තයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.