
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)
එංගලන්ත පිතිහරඹය ආරම්භ වූයේ මහීෂ් තීක්‍ෂණ යැවූ පළමු පන්දුවම පිල් සෝල්ට් විසින් නරඹන්නන් අතරට යවනු ලැබීමෙනි. එංගලන්ත පිතිහරඹයේ රිද්මය එයාකාර බැව් පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරුවෝ දෙදෙනා ඉඟි කළහ. පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (30 වනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී එංගලන්තය (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) ලකුණු 11 ක ජයක් අත්කර ගත්තේය.
කාසියේ වාසිය අහිමි වූ බැවින් පළමුව පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133 කට දැවී ගියේය. එංගලන්ත ඉලක්කය ලකුණු 134 ක් වුවත්, රාත්‍රී 11.25 ට පමණ වර්ෂාව ඇද හැළෙන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, එංගලන්තයේ ඉලක්කය ලකුණු 115 ක් විය යුතුව තිබිණ.
එංගලන්ත ප්‍රහාරකයා වන පිල් සෝලට් තරමක් තැන්පත්ව සිටියදී ජොස් බට්ලර් (පන්දු 10 කින් ලකුණු 17) සහ ටොම් බැන්ටන් (පන්දු 15 කින් 29) දෙදෙනා රිසි සේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට බැට දුන්හ. එෂාන් මාලිංග හමුවේ පිට පිටම හතරේ පහර 4 ක් ගැසූ බට්ලර් මාලිංගගේම මඳ වේගී පන්දුවකට කඩුල්ල අහිමි කරගත්තේය.
කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව අතහැරදමා සිටියද, නැවතත් පුහුණුවීම් කරමින් එංගලන්ත කණ්ඩායමේ ස්ථානය දිනාගත් ටොම් බැන්ටන් අපූරු පිතිකරුවෙකි. රිවර්ස් ස්වීප් පහර දෙකකින් ලකුණු 10 ක් ලබාගත් බැන්ටන්, දැවී ගියේ එක්ස්ට්‍රා කවර්ස් හි සිටි චරිත් අසලංක අල්ලාගත් විශ්මිත උඩපන්දුවකිනි. එහෙත් පන්දු 15 ක් කින් ලකුණු 29 ක් ලබාගත් 27 හැවිරිදි පිතිකරුවා, ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියේදී තමන් දෙස විමසිල්ලෙන් බලා සිටින්න’යි ක්‍රිකට් ලෝලීන්ට දැනුම් දුන්නේය.
සුන්දර සිහිනයක් ලෙසින් ආරම්භ වූ ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ මහත් භයංකාර විලාසයෙනි. පැතුම් නිස්සංක (23) සහ කුසල් මෙන්ඩිස් (37) දෙදෙනා එක්ව 7 වැනි ඕවරය නිමාවේදී ලකුණු 75 ක් පුවරුවට දැමූහ. එහෙත් පැතුම් නිස්සංක දැවී යාමත් සමගම ලකුණු 57 ක් ඇතුළත කඩුලු 9 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාව ඇත්තේ මැද පෙළ පිතිහරඹයේ යන්න නැවත වරක් කදිමට විද්‍යමාන විය.
සිය පළමු ඕවර දෙකේදී ලකුණු 36 ක් තිළිණ කළ සෑම් කරන් තුන්වැනි ඕවරයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ දැම්මේය.


බද්රානි Friday, 30 January 2026 10:11 PM
තේරීම් කමිටුවේ තේරීම නම් මල පහයි නේද..? අර ධනංජය සිල්වාව T20 මැච් වලට දාන්නේ මොනවා කරන්නද..? ලංකාවේ හැමදාම කරලියේ බඩ පිනුම් ගහන්නේ කබ්බෝම තමයි.. ඒක තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.