Last Update  :  2026-02-02 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තයට කඩුලු 6 ක ජයක්
2 වැනි විස්සයි-20 තරගය

එංගලන්තයට කඩුලු 6 ක ජයක්

editorial - 2026 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...)

 

වර්ෂාවෙන් පසුව අලුත් ගැම්මක් ගත් එංගලන්ත පිතිකරුවෝ, පන්දු 56 කින් ලකුණු 116 ක් උදුරා ගනිමින්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී  ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 6 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම එංගලන්තය 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී ලකුණු 189 ක් ලබාගත් නමුත් වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉලක්කය ඕවර 17 කදී ලකුණු 168 ක් දක්වා සංශෝධනය කරන ලදි. ජනිත් ලියනගේ යැවූ අවසන් ඕවරයේ සිව්වැනි පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවූ සෑම් කරන්, පන්දු 2 ක් ඉතිරිව තිබියදීම තරගය අහවර කළේය. 

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු එංගලන්තයේ ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 2 කට 57 කි. ඒ වන විට ඩක්වර්ත් - ලුවිස් ඉලක්කය 70 ක් විය යුතුව තිබුණෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ විය. එහෙත් වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසු, තමන් මුහුණ දී සිටි අවදානම වටහාගත් ජොස් බට්ලර් සහ ටොම් බැන්ටන් දෙදෙනා, ශ්‍රී ලංකා පන්දු යවන්නන් නඩයම සෙල්ලමකට ගත්හ. 

පන්දු 29 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ටොම් බැන්ටන්ට කදිම සහයෝගයක් දුන් නායක හැරී බෲක්, පන්දු 12 කින් ලකුණු 36 ක් ලබාගත්තේ සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර කරමිනි. ටොම් බැන්ටන්, පිට පිටම දෙවැනි තරගයේදීත් ක්‍රිකට් ලෝලීන්ට කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියේදී තමන් දෙස බලා සිටින ලෙසයි. පන්දු 33 කින් ලකුණු 54 ක් ලබාගත් බැන්ටන්ගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. 

ආරම්භක පිතිකරුවන්ගේ අඩිතාලමත්, මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. 

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කින් ලකුණු 56 ක් එකතු කිරීමට පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර සමත් වූහ. පන්දු 22 කට පසුව පැතුම් දැවී ගියත් පසුව පැමිණි කුසල් මෙන්ඩිස් සමගින් එක්වූ කමිල් මිෂාර, 11 වැනි ඕවරය නිමා වන විට ලකුණු 106 ක් පුවරුවට දැමූහ. 

අංක 4 පිතිකරුවා ලෙසින් උසස්වීමක් ලද පවන් රත්නායක, ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ මංගල විස්සයි-20 තරගයේදී ලකුණු ලබාගැනීම ආරම්භ කළේ හයේ පහරකිනි. තණතීරුවේ මැද කෙටී, ඉහළ නැඟි ජැමී ඔවර්ටන්ගේ පන්දුව පවන් රත්නායකගේ පිත්තේ දාරයේ වැදී ඩීල් ෆයින් ලෙග් කලාපය හරහා ලණුවට ඉහළින් ඇදී ගියේය. 

පන්දු 6 කට මුහුණ දුන් දසුන් ශානක එක ලකුණකට දැවී ගියත් පසුපස නොබැලූ පවන් රත්නායක සහ චරිත් අසලංක දෙදෙනා පන්දු 36 කින් ලකුණු 56 ක් පුවරුවට එකතු කළහ. 
පළමු තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් ශ්‍රී ලංකාව අසරණ කළ සෑම් කරන්ගේ ඕවර 2 කින් ලකුණු 31 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ජැමී ඔවර්ටන්ගේ ඕවර 2 කින් ලකුණු 30 ක් ලබාගත්හ. විල් ජැක්ස් සහ අදිල් රෂීඩ් දෙදෙනා නොවන්නට, ශ්‍රී ලංකා පිලට ලකුණු 200 කඩඉම පසුකර යා හැකිව තිබිණ. 

තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය මේ මස 3 වැනිදා පැවැත්වෙයි. 

 


අදහස් (0)

එංගලන්තයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.