Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්තය ග්‍රහණය දැඩි කරයි

එංගලන්තය ග්‍රහණය දැඩි කරයි

editorial - 2020 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැක් ක්‍රෝලිගේ ද්විත්ව ශතකයත් කඩුලු රකින්නා වූ ජොස් බට්ලර්ගේ වික්‍රමාන්විත ශතකයත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව සදම්ප්ටන්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 583 ක් ලබා ගත්තේය. දිනය අවසන් වීමට පෙර ජේම්ස් ඇන්ඩසන් දවාගත් කඩුලු 3 නිසා ජෝ රූට් ඇතුළු පිරිවර ආපසු ක්‍රීඩාගාරයට ගියේ තරගයේ පාලනයද සියතට ගනිමිනි.

එංගලන්තය මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. එබැවින් වසර 10 ක කාලයක් පුරා එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකින් පරාජය නොවූ පාකිස්තානයේ වාර්තාව අවදානමට ලක්ව තිබේ.

දිනය අවසන් වන විට ලකුණු 24 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි පාකිස්තානය එංගලන්තය වඩා ලකුණු 559 ක් පසුපසින් සිටියේය. පාකිස්තානයේ මහත් බලාපොරොත්තුව වූ බාබර් අසාම් ද දැවී ගිය පිතිකරුවන් අතර විය.

මෙම තරගයේදී සැක් ක්‍රෝලි ලබාගත් ද්විත්ව ශතකය “ඉතා සුවිශේෂී වෘත්තීය දිවියක්  කරා” ඔහුව ඔසවා තබන බව ජොස් බට්ලර් තරගයෙන් පසුව පැවසීය.

තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන සැක් ක්‍රෝලි සිය 8 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ලබාගත් මංගල ටෙස්ට් ශතකය ලකුණු 267 ක දැවැන්ත ඉනිමක් කරා පරිවර්තනය කළේය. එපමණක් නොව, ජොස් බට්ලර් (152) සමග එක්වූ ක්‍රෝලි පස්වන කඩුල්ල සඳහා ලකුණු 359 ක වාර්තාගත සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

මීට වසර 143 කට ඉහතදී ලෝකයේ පළමු වැනි ටෙස්ට් තරගයට සහභාගි වූ එංගලන්තය වෙනුවෙන් තනි ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය අත්කර ගැනීමටද ක්‍රෝලි සමත්ව සිටී.
පැය 9 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳුනු ක්‍රෝලි පන්දු 393 කට මුහුණ දෙමින් ඒවායින් 35 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඉන් එකක් හයේ පහරක් විය.

"අනෙක් කෙළවරේ සිට ඔහු දෙස බලා සිටීමත් සතුටක්" බට්ලර් වාර්තාකරුවන්ට පැවසීය.

“ඔහු ඇදහිය නොහැකි තරම් තදින් පන්දුවට පහර දෙනවා. ඒ වගේම  කඩුල්ල වටා ඕනෑම කලාපයකින් පන්දුව හතරේ සීමාවට යැවීමට තරම් පහර විශාල ප්‍රමාණයක් ඔහුට තියෙනවා....එය ඉතා සුවිශේෂී වෘත්තීය ජීවිතයක ආරම්භයයි. ඔහු එංගලන්තය වෙනුවෙන් තවත් ශතක කිහිපයක් ලබා ගැනීමට යන බවට සැකයක් නෑ" යයි මෙම දැවැන්ත සම්බන්ධතාව ගොඩනැංවීමට දායකත්වය දුන් ජොස් බට්ලර් පැවසීය.

එංගලන්තය වෙනුවෙන් තනි ඉනිමකදී වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර සිටින්නේ සුළුපටු ක්‍රීඩකයන් නොවේ. ශ්‍රීමත් ලෙනාඩ් හට්න්, වොලී හැමන්ඩ්, ග්‍රැහැම් ගූච් සහ ඇලෙස්ටෙයාර් කුක් ඔවුන් අතර සිටිති. මෙම සුවිශේෂී ක්‍රීඩකයන්ගේ නම් අතරට තමන්ගේ නමත් එක් කිරීම සම්බන්ධයෙන් ඇසූ විට ක්‍රෝලි පිළිතුරු දුන්නේ “ඇත්තෙන්ම එය ඉතා නිහතමානී හැඟීමක්“ කියාය.

"නිසැකවම ඔවුන්ගේ හැකියාවන් අසල කොතැනකවත් මට මාව පෙනෙන්නේ නෑ. ඒත් මට එය ගොඩනගා ගත හැකියි.“ යයි ක්‍රෝලි කියයි.

එංගලන්තයට ලෝක කුසලාන දිනා දුන් කණ්ඩායමේ කඩුලු රකින්නා වන බට්ලර් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය සොයමින් දැඩි තරගයක යෙදී සිිටියේය. බට්ලර් එතරම් විශාල නොවන ඉනිම කිහිපයක් ක්‍රීඩා කළද ටෙස්ට් කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය අස්ථාවර මට්ටමක විය. එහෙත් මේ මස මුලදී ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හි පැවති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානයට එරෙහිව එංගලන්තය කඩුලු 3 ක ජයක් ලබා ගත් අවස්ථාවේදී බට්ලර් දෙවන ඉනිමේදී ලබාගත් ලකුණු 75 වැදගත් විය.

බට්ලර් මේ දක්වා ටෙස්ට් තරග 47 කට සහභාගි වී ඇතත් මෙය ඔහුගේ දෙවැනි ශතකයයි.

එංගලන්තය - පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 583
(ඩොමිනික් සිබ්ලි 22, සැක් ක්‍රෝලි 267, ජෝ රූට් 29, ජොස් බට්ලර් 152, ක්‍රිස් වෝක්ස් 40‍, ඩොමිනික් බෙස් නොදැවී 27, ස්ටුවර්ට් බ්‍රෝඩ් 15, ශහීන් ෂා අෆ්රිඩි 121/2, යසීර් ෂා 173/2, ෆවාඩ් අලාම් 46/2)

පාකිස්තානය පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 24


අදහස් (0)

එංගලන්තය ග්‍රහණය දැඩි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.