Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පිල ඉදිරි ගමනට සූදානම්

එංගලන්ත පිල ඉදිරි ගමනට සූදානම්

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් වසා දමමින් තවත් බොහෝ පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළද ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට තමන් සූදානමින් සිටින බව එංගලන්ත කණ්ඩායමේ කළමණාකරු පිලිප් නීල් මහතා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ පාසල් සියල්ලම වසා දැමීමෙන් සහ මහ ක්‍රිකට් තරග කිහිපයක් දින නියමයක් නැතිව කල්දමනු ලැබීමෙන් පසු ඊයේ (12 වැනිදා) පැවැති සාකච්ඡාවකදී එංගලන්ත කණ්ඩායමේ කළමණාකරු පිලිප් නීල් මහතා එම අදහස් පළකර තිබේ.

“අපි ආවේ ක්‍රිකට් සෙල්ලම් කරන්න. අපි සෙල්ලම් කරන්න සූදානම්.... ඒත් රෝගයකින් ආරක්‍ෂා වෙන්න අවශ්‍ය පියවර අපි ගන්න ඕනා.. ඒ පියවර අපි ගන්නවා” යයි කියා ඇති නීල් මහතා...“කිසියම් විදියකින් ශ්‍රී ලංකාවේ රජය මෙම තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගතහොත් අපි ඒ තීරණයට එකඟ වෙනවා” යයිද පවසා තිබේ.

ක්‍රිකට් තරගයක් අවසන් වීමෙන් පසුව දෙපිලේ ක්‍රීඩකයන් අතට අත දී සුහදතාව පළකිරීම සියවසකට වැඩි ඉතිහාසයක් හිමි ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායකි. එහෙත් මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී අතට අත දීම වෙනුවට මිට මෙළවූ අතින් අතට ගසා ගනිමින් සුහදතාව පළකිරීමට එංගලන්ත ක්‍රීඩකයන් පියවර ගෙන තිබේ.

මේ අතර ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග දෙකම (16 වැනිදා සහ 18 වැනිදා) ප්‍රේක්‍ෂකයන්ගෙන් තොරව හිස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. කෝවිඞ්- 19 වෛරසය පාලනය කරගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජයෙන් නිකුත් කරන ලද නිවේදනයක් අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර එම තරග දෙක වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ “ඔය කියන තරම් යකා කළු නෑ” කියාය.

“අපි පරෙස්සම් වෙන්න ඕනා තමයි. ඒත් අපි කලබල වෙන්න ඕන නෑ.... අපි විමසිල්ලෙන් ඉදිරියට යනවා. තරගාවලිය කල්දාන්නවත් අවලංගු කරන්නවත් ඕන නෑ... අපි වෙන්නේ මොකද කියලා බලමු” යයි එම නිලධාරියා පැවසීය.

වර්ෂ 1987 දී කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ අබියස බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 125 කට අධික පිරිසක් මියයාම නිසා ඒ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම තරගාවලිය නවතා දමා ආපසු නවසීලන්තයට ගියේය. මෙම සිදුවීමෙන් පසුව වසර 5 ක කාලයක් ශ්‍රී ලංකාවේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග නොපැවැත්විණ.

පසුව 1992 නොවැම්බර් මාසයේදී හිටපු නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු මහතා ඝාතනය කරමින් ගාලු මුවදොරදීත් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බය පුපුරා යාමෙන් බියට පත් ක්‍රීඩකයන් පස්දෙනකු ආපසු නවසීලන්තය බලා ගියද තවත් ක්‍රීඩකයන් පස්දෙනකු ගෙන්වා ගැනීමෙන් පසුව ටෙස්ට් තරගාවලිය පැවැත්විණ. පසුව 1994 දී පැවැති මහ මැතිවරණයට පසුව පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයක් අවලංගු කරදැමීමට සිදුවිය.

වසර 2006 දී කොළඹදී පුපුරාගිය තවත් බෝම්බයක් හේතුවන් ඒ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරගාවලිය අතහැර දමා ආපසු ගියේය. ඒ අවස්ථාවේදී දකුණු අප්‍රිකානු පිලේ පුහුණුකරුවා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මිකී ආතර් මහතාය.

ඒ හැරෙන්නට අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී තරග වලට බාධා නොතිබිණ.

එංගලන්ත නායක ජෝ රූට් (වමේ) සහ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ්....
ඡායාරූපය : රොයිටර්

 


අදහස් (0)

එංගලන්ත පිල ඉදිරි ගමනට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.