Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story එංගලන්ත පිතිකරුවෝ සභාපතිගේ පිලට තලති

එංගලන්ත පිතිකරුවෝ සභාපතිගේ පිලට තලති

editorial - 2020 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භවූ සිව්දින පෙරහුරු තරගය පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 354 ක් රැස්කර සිටියේය.

ජෝ රූට් ලකුණු 90 ක් රැස්කරමින් එක් අන්තයක රැඳී සිටින අතර අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටින ජෝ ඩෙන්ලි ලකුණු 84 ක් ලබා නොදැවී සිටී. මේ වනවිට ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 175 ක අඛණ්ඩ සම්බන්ධතාවයක්ද ගොඩනැගීමටද සමත්ව සිටිති.

දිවා ආහාරයට තරගය නතර කරනවිට කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ලකුණු 106 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම දිවා ආහාරයත් තේ පානයත් අතර කාලයේදී කඩුලු 2 ක් අහිමිකර ගනිමින් ලකුණු 103 ක් ලබාගත්තේය. පිතිකරුවන්ට යෝග්‍ය මෙම තණතීරුවේ පන්දු යවන්නන්ට කිසිදු සහයක් නොලැබීමේ වාසිය ලබාගත් එංගලන්ත පිතිකරුවෝ තේ පානයෙන් පසුව පළමු දිනට තරගය අවසන් වනතෙක්ම කඩුල්ලක් නොදී ලකුණු 145 ක් ලබාගැනීමට සමත්වූහ.

ශතකයක් ලබාගනිමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් සැක් ක්‍රෝලි ලකුණු 105 ක් ලබාසිටියදී මොහොමඞ් ශිරාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 145 කට මුහුණදුන් ක්‍රෝලිගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය. කඩුලුරකින ක්‍රීඩක මිනෝද් භානුක අතට උඩපන්දුවක් දෙමින් ජෝ ඩෙන්ලි දැවී යන විට පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ක් රැස්කර සිටියේය.

ඩොම් සිබ්ලි සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සැක් ක්‍රෝලි දෙවැනි කඩුල්ල සඳහා ජෝ ඩෙන්ලි සමගින්ද තවත් ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදා ගත්තද තණතීරුවේ සහයක් නොලැබීම හේතුවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඔව්හු අපොහොසත් වූහ. වමතින් පාදඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ඕවර 24 ක් යවමින් ලකුණු 108 ක් ලබාදී එක් කඩුල්ලක් පමණක් දවාගත් අතර පිට දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ඕවර 28 ක් යවමින් ලකුණු 100 ක් ලබාදෙමින් කඩුල්ලක් දවාගත්තේය.

හෙට (13 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

 

 

 

 


අදහස් (0)

එංගලන්ත පිතිකරුවෝ සභාපතිගේ පිලට තලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.