
ක්‍රීඩා අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනකුට මාසිකව රුපියල් ලක්ෂයක් බැගින් දීමනාවක් ගෙවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ සඳහා උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූහ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මට්ටම ඉහළ නංවමින් ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීමේ ඉලක්කය ඇතිව මෙම සංචිතය ක්‍රියාත්මක කෙරේ. ලබන වසරේදී (2022) වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙම සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රමුඛ ඉලක්කයකි.
ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධන කමිටුව මගින් තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනකුගෙන් සමන්විත සංචිතයක් මේ සඳහා තෝරාගෙන තිබේ. මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ක්‍රීඩා ආදී ක්‍රීඩා හතකට අදාළව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 60 දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගතව සිටිති.
ගිවිසුම ප්‍රකාරව ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු වෙනුවෙන් ජාතික ක්‍රීඩා අරමුදල මඟින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසිකව රුපියල් 100,000 ක මුදලක් ගෙවනු ලැබේ. ඊට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉදිරියේ දී රුපියල් 25,000 ක පෝෂණ දීමනාවක් ද ගෙවීමට සැළසුම් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවන මෙම ගිවිසුම්ගත වීමේ වටිනාකම සම්බන්ධව හා එහි අඩංගු කරුණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශානක අමරසිංහ මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවබෝධයක් ලබා දුන්නේය. ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරමින් ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ලෙස ඔවුන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී තිබේ.
ජාතික ක්‍රීඩා සභාව සහ බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත ජාතික උසස් දක්ෂතා කමිටුව සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත වෙන් වන මුදලින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට වැඩි මුදලක් වෙන් කිරීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් 6% ක් වැනි අඩු මුදලක් වෙන් කිරිමය. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් පළමු අදියරේදී ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් 20% ක මුදලක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෘජුවම වෙන්කෙරේ. එය ඉදිරි වසර කිහිපය තුළ 40% ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.
මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, කමිටු සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවේගම, ජාතික උසස් දක්ෂතා කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.