Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)
මෙතෙක් පවත්වාගෙන ආ ජයග්‍රාහී සම්බන්ධතාවන් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී වෙනස් කරන්නේද? නැතහොත් තරගාවලිය ජයගෙන සිටින බැවින් පළමු තරග දෙකේදීම අවස්ථාවක් නොලද ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්නේද ?
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (1 වැනිදා) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පවතින්නේ උහතෝකෝටික ප්‍රශ්නයකි.
කොළඹ එස්. එස්.සී. පිටියේදී පැවැති පළමු තරගය ශ්‍රී ලංකා පිල ජයගත්තේ තරමක් අසීරුවෙනි. එම තරගය ජයගත් හෙයින් ජයග්‍රාහී සම්බන්ධතාව වෙනස් නොකළ යුතු යයි අදහස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයටත් පළමු තරගයේදී යොදාගත් 11 දෙනාම යොදාගත්හ.
පළමු තරගයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් දෙවැනි තරගයත් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සූරියවැව ක්‍රීඩාංගණයේදීම 2-0 ක් ලෙසින් තරගාවලියේ ජය මිටමොළවා ගත්හ. එවන් තත්ත්වයක් තිබියදී පළමු තරග දෙකේදීම අවස්ථාව නොලද නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය යන සිව්දෙනාගෙන් අයකුට හෝ දෙදෙනකුට හෙට තරගයේදී අවස්ථාව ලැබේවිද යන්න සැමදෙනාගේම විමසිල්ලට බඳුන් වී ඇති කාරණයයි.
මෙය උහතෝකෝටික ප්‍රශ්නයක් වූවත් වෘත්තීය මට්ටමේදී මෙවන් අවස්ථාවලට පැහැදිළි උත්තර තිබේ. ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී දැනගත හැකිවූයේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවකු ශාරීරික ආබාධයකට ලක්ව නැති බැවින් බොහෝ විට පළමු සහ දෙවැනි තරග දෙකේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාම හෙට තරගය සඳහාත් පිටියට පිවිසෙන බවකි.
“පහුගිය කාලේ අපි දිගින් දිගටම පැරදුන නිසා මේගොල්ලන්ට පරදින එක ගාණක් නැතිව ගිහිල්ලා.... මේක හරියන්නේ නෑ... අපි හෙට තරගයත් දිනන්න ඕනා.. 3-0 ක් විදිහට තරගාවලිය දිනන්න ඕනා”
“ඒ හින්දා අපි දිනපු 11 ම තමයි හෙට තරගයටත් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් අවධාරණයෙන් පැවසීය. අද (29 වැනිදා) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවට පැමිණි ලක්ෂාන් සඳකැන් නිලධාරියාගේ කතාව තහවුරු කළේය.
“අපි තාම කණ්ඩායම (11 දෙනා) තෝරාගෙන නෑ.. බොහෝ විට අද රාත්‍රියේදී කණ්ඩායම තෝරා ගනීවි. ඒ කව්රු ක්‍රීඩා කළත් මේ තරගාවලිය 3-0 ක් ලෙසින් දිනන්නයි හැම දෙනාගේම අදහස වෙලා තියෙන්නේ” යයි ලක්ෂාන් සඳකැන් පැවසීය.
1996 දී ශ්‍රී ලෝක කුෂලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 14 දෙනකු අයත් වූවත් තරගාවලිය පුරාම ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් 12 දෙනෙක් පමණි. ඒ 12 දෙනාගෙන් අයෙක් ක්‍රීඩා කළේ එකම තරගයකට පමණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෘත්තීය ක්‍රීඩා කණ්ඩායමකි. වෘත්තීය මට්ටමේදී වඩාත් සුදුසු කෙනාට අවස්ථාව දෙනු මිස ළතෙත් හැඟීම් වලට ඉඩක් නැත. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ හෙට තරගයත් ජයගනිමින් 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීමේ අභිලාෂයයි.
“අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මේ තරගයත් ජගයත්තාම තවත් ප්‍රසාද ලකුණු එකතු කරගනිමින් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැගීමයි.....කණ්ඩායමේ හැම දෙනාම,.. ඒ කියන්නේ පුහුණුකරුවන් සහ අනෙක් නිලධාරීනුත් එකතුව, ඉන්න එකම අදහස තමයි 3-0 කින් එක්දින තරගාවලිය ජයගැනීම”
“පසුගිය කාලේ අපි දිගින් දිගටම තරග පරදින විට අපට ඕනෑ කළේ ශ්‍රේණිගත ලයිස්තුවේ පහළට වැටීම වළක්වා ගන්නයි. ඒත් ඒක අපට නවත්වා ගන්න බැරිවුණා. ඒත් දැන් අපි දිනාගෙන එන අවස්ථාවේදී අපි ඒ තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නගින්න ඕනා.... අපේ ඉලක්කය ඉදිරි මාස 18 ක විතර කාලය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයෙන්ම, ඒ කියන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකාර තුනේදීම ලෝකයේ හොඳම කණ්ඩායම් හතර අතරට එන්නයි” යයිද ලක්ෂාන් සඳකැන් පැවසීය.
ශ්‍රී ලංකා පිල හමුවේ ඇත්තේ අසීරු අභියෝගයක් නොවේ. මක්නිසාද යත් වත්මන් එක්දින කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක් වන බැවිනි. මෙම කණ්ඩායමට සවිමත් මුදුන් මුලක් වන් ආරම්භක පිතිකරුවකු සමගින් ස්ථාවර පිතිකරුවෝ හය දෙනෙක් සිටිති. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයාව සිටි නිරෝෂන් දික්වැල්ලට පවා 11 දෙනා අතර ස්ථානයක් සොයාගත නොහැකි තරමට පිතිකරු අංශය ශක්තිමත් වී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයන් සේ සැලකිය හැකි තිදෙනෙක් පන්දු යවන්නෝ වෙති. ඒ අනුව 11 දෙනාගෙන් 9 දෙනකුටම පිත්තෙන් යමක් කළ හැකිය.
අනෙක් අතට නිශ්චිත පන්දු යවන්නන් 5 දෙනාට අමතරව ධනංජය ද සිල්වාට සහ ඇන්ජලෝ මැතිව්ස්ටද ඕනෑම අවස්ථාවකදී පන්දු යැවීමේ හැකියාව තිබේ. දිගින් දිගටම පුහුණුවීම් කිරීමෙන් පසුව, අවස්ථානුකූලව එන තත්ත්වයට මුහුණ දීමට තමන් සූදානමින් සිටින බවත් අවශ්‍ය අවස්ථාවලදී පන්දුවේ වේගය වැඩිකරගනිමින් පන්දු යැවීමේ හැකියාව දියුණු කරගෙන සිටින බවත් සඳකැන් පවසයි.
3-0 ක තරගාවලි ජයක් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂිත ඉලක්කය පමණක්ම නොවේ. එය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් නැවත වරක් කණ්ඩායම වෙත ඇදගන්නා කාන්දමක්ද වනු නිසැකය.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, ළහිරු කුමාර, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ෂානක
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
කරන් පොලාර්ඩ් (නායක), ශායි හෝප්, ෆේබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්‍රල්, ජේසන් හෝල්ඩර්, අල්සාරි ජෝශප්, බ්‍රෙන්ඩන් කිං, කීමෝ පෝල්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, රොමාරියෝ ෂෙපර්ඞ් සහ හේඞ්න් වෝල්ෂ්
ඡායාරූප : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.