Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අවසන් සටනට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දියාව අවසන් සටනට

editorial - 2023 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර සිට..)

නවසීලන්තයට එරෙහිව මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70 ක ජයක් වාර්තා කළ ඉන්දියාව අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගැනිමට සමත් විය. ඉන්දීය කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 398 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 48.5 ක් අවසානයේ සියලු ‍දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 327 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සාමි, ඕවර 9.5 ක් යවා ලකුණු 57 කට කඩුලු 7 ක් බිඳහෙළමින් නවසීලන්තයේ ජයග්‍රාහී මාවත අවහිර කළේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. මේ දක්වා තරග 6 කදී කඩුලු 23 ක් දවාගෙන ඇති සාමි, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්ව සිටියි.

නවසීලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා දැඩි උත්සාහයක නිරත වූ ඩැරිල් මිචෙල් පන්දු 119 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 134 ක් රැස්කළේය. නායක කේන් විලියම්සන් (69) සමග එක්ව ‍තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 149 කදී ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිචෙල් සමත් වූ නමුත්, නවසීලන්තය පරාජ‍යෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණයක් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවෝ, නවසීලන්ත පන්දු යවන්නන් සියලු දෙනාටම පාහේ එළව එළවා පහර දෙමින් ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් ලබාගත්හ. එහිදී කඩුලු 3 ක් දවාගැනීමට ටිම් සවුති සමත් වුවද ඔහුගේ ඕවර 10 තුළදී ලකුණු 100 ක් රැස්කළ ඉන්දීය පිතිකරු‍වෝ, ට්‍රෙන්ට් බෝල්ට්ගේ ඕවර 10 න්ද ලකුණු 86 ක් උදුරාගත්හ.

එහිදී එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට පත්වීමේ තනි අයිතියට හිමිකම් කීමට විරාට් කෝලි (117) සමත් වූ අතර පන්දු 113 කට මුහුණදෙමින් ලබාගත් සිය 50 වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් සැරසීමට කෝලි සමත් විය. මින් පෙර ඔහු සහ සචින් ටෙන්ඩුල්කාර් ශතක 49 බැගින් ලබා වැඩිම එක්දින ශතක ලාභීන් ලෙස සම තත්වයේ පසුවූහ.

නායක රොහිත් ශර්මාගේ (47) දැවී යෑමෙන් අනතුරුව ශුබ්මන් ගිල් (නොදැවී 80) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කෝලි සමත් වුවද, ලකුණු 79 ක් ලබා සිටියදී පාදයේ මස්පිඬු පෙරළීම හේතුවෙන් ගිල් පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට පන්දු 65 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වී තිබිණ.

ගිල්ගේ නික්ම යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ශ්‍රෙයාස් අයියර් (105), මෙවර තරගාවලියේදී පිට පිටම තමා ලබාගත් දෙවැනි ශතකය වාර්තා කළේ පන්දු 70 කිනි. ඔහුගේ ප්‍රවේගකාරි ඉනිම හයේ පහර 8 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. කෝලි සමග එක්ව ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී තවත් ලකුණු 163 ක් එක්කිරීමටද අයියර් සමත් විය. ‍

අවසන් ඕවර කිහිපයේදී සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දමමින් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කිරීමට ලෝකේෂ් රාහුල් සමත් විය. ඉන් නොනැවතුණ රාහුල්, තෙවැනි කඩුල්ල‍වෙනුවෙන් අයියර් සමග එක්ව පන්දු 29 කදී ලකුණු 54 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව ආසන්නයටම ගෙන ආවේය.

ඉන්දියාව
රෝහිත් ශර්මා - ඇ.විලියම්සන් ප.සවුති    47
ශුබ්මන් ගිල් - නොදැවී                             80
විරාට් කෝලි - ඇ.කොන්වේ ප.සවුති      117
ශ්‍රෙයාස් අයියර් - ඇ.මිචෙල් ප.බෝල්ට්   105
ලෝකේෂ් රාහුල් - නොදැවී                      39
සූර්යකුමාර් යාදව් - ඇ.පිලිප්ස් ප.සවුති        1
අතිරේක                                                   8
එකතුව ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී       397

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
රවින්ද්‍ර ජදේජා, මොහොමඩ් සාමි, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව් සහ මොහොමඩ් සිරාජ්

කඩුලු වැටීම :
1-71(ශර්මා), 2-327(කෝලි), 3-381(අයියර්), 4-382(යාදව්)

පන්දු යැවීම :
ට්‍රෙන්ට් බෝල්ට් 10-0-86-1, ටිම් සවුති 10-0-100-3, මිචෙල් සෑන්ට්නර් 10-1-51-0, ලොකී ‍ෆර්ගසන් 8-0-65-0, රචින් රවින්ද්‍ර 7-0-60-0, ග්ලේන් පිලිප්ස් 5-0-33-0


නවසීලන්තය
ඩෙවෝන් කොන්වේ - ඇ.රාහුල් ප.සාමි        13
රචින් රවින්ද්‍ර - ‍ඇ.රාහුල් ප.සාමි                    13
කේන් විලියම්සන් - ඇ.යාදව් ප.සාමි              69
ඩැරිල් මිචෙල් - ඇ.ජදේජා ප.සාමි               134
ටොම් ලේතම් - ක.මු. කළා ප.සාමි                  0
ග්ලේන් පිලිප්ස් - ඇ.ජදේජා ප.බුම්රා             41
මාක් චැප්මන් ඇ.ජදේජා ප.කුල්දීප්                  2
මිචෙල් සෑන්ට්නර් - ඇ.ශර්මා ප.සිරාජ්             9
ටිම් සවුති - ඇ.රාහුල් ප.සාමි                           9
ට්‍රෙන්ට් බෝල්ට් -‍නොදැවී                              2
ලොකී ෆර්ගසන් - ඇ.රාහුල් ප.සාමි                 6
අතිරේක                                                      29
එකතුව ඕවර 48.5 කදී සියලු දෙනා දැවී       327

කඩුලු වැටීම :
1-30(කොන්වේ), 2-39(රවින්ද්‍ර), 3-220(විලියම්සන්), 4-220(ලේතම්), 5-295(පිලිප්ස්), 6-298(චැප්මන්), 7-306(මිචෙල්), 8-319(සෑන්ට්නර්), 9-321(සවුති), 10-327(ෆර්ගසන්)

පන්දු යැවීම :
ජස්ප්‍රීට් බුම්රා 10-1-64-1, මොහොමඩ් සිරාජ් 9-0-78-1, මොහොමඩ් සාමි 9.5-0-57-7, රවින්ද්‍ර ජදේජා 10-0-63-0, කුල්දීප් යාදව් 10-0-56-1

 


අදහස් (0)

ඉන්දියාව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.