Last Update  :  2025-09-13 08:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 2036 ඔලිම්පික් උළෙල ඉල්ලයි

ඉන්දියාව 2036 ඔලිම්පික් උළෙල ඉල්ලයි

editorial - 2022 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දෙසැම්බර් 29 දා නවදිල්ලිය - ප්‍රංශ පුවත්)

වසර 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඉල්ලුම් කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු රැස්වීමකදී සත්කාරක අයිතිවාසිකම් සඳහා ඉල්ලුම් කරන බව ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාව ගෝලීය ක්‍රීඩා බලවතෙකු ලෙසින් ස්ථාපිත කිරීම සඳහා වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර දේශීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් මුදල් යොදවමින් තිබේ.

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය වශයෙන් වත්මන් අගමැති මෝදිගේ උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ අහමදාබාද් නගරය තෝරාගැනීමට බොහෝ ඉඩකඩ තිබේ. ගුජරාටයේ පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය (ක්‍රිකට් ක්‍රීඩාංගණයකි) ලොව විශාලතම ක්‍රීඩාංගනය වන අතර එය 2020 දී විවෘත කරන ලද්දකි.

ඉන්දීය මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍ය අනුරාග් ඨාකූර් මහතා ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට පැවසුවේ ලොව විශාලතම ක්‍රීඩා ඉසව්ව ඉන්දියාවට ගෙන ඒමට සුදුසුම කාලය එය බවයි.

“ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව මෙතරම් උත්සාහයක් දරන්නේ නම්, අපි
ඔලිම්පික් උළෙලට සත්කාරය දක්වනවා විතරක් නෙමේ එය උසස්ම ආකාරයෙන් සංවිධානය කරන බවටත් මට සහතික විය හැකියි” යයි ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. මෙම සම්මුඛ සාකච්ඡාව බදාදා (28 වැනිදා) ප්‍රකාශයට පත්විය.

තාකූර් පැවසුවේ, ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අහමදාබාද් නගරය සූදානම් කරන ආකාරය පිළිබඳ මූලික සැලැස්මක්, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව, ලබන සැප්තැම්බරයේ මුම්බායි හි පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමේදී ඉදිරිපත් කරන බවයි.

මීළඟ ගිම්හාන ඔලිම්පික් තරඟාවලි තුන සංවිධානය කිරීම සඳහා පැරිසිය (2024), ලොස් ඇන්ජලීස් (2028) සහ බ්‍රිස්බේන් (2032) යන නගර වලට දැනටමත් අයිතිය පවරා දී තිබේ.

ඉන්දියාවේ උත්සාහය සාර්ථක වුවහොත් ජපානය, දකුණු කොරියාව සහ චීනයට පසුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන සිව්වැනි ආසියානු රට බවට ඉන්දියාව පත් වනු ඇත.

එමෙන්ම ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන මුල්ම දකුණු ආසියාතික රාජ්‍යය ද වනු ඇත.
ඉන්දියාව වසර 2010 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දුන් නමුත් දූෂණ සහ වැරදි කළමනාකරණය පිළිබඳ පුළුල්ව පැතිරුණු චෝදනාවලින් එම උත්සවයේ කීර්තිනාමය විනාශ විය.

කෙසේ වෙතත් 2036 ඔලිම්පික් උළෙල සඳහා ඉන්දුනීසියාව, දකුණු කොරියාව සහ කටාර් ඇතුළු තවත් රටවල් කිහිපයක් ඉදිරිපත්වීමට අදහස් කර ඇත.


ඡායාරූපය - ගූගල් සිතියම අනුග්‍රහයෙනි

- 213

 


අදහස් (0)

ඉන්දියාව 2036 ඔලිම්පික් උළෙල ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.