Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇඹුල්දෙණිය හමුවීමේ අභියෝගය
එංගලන්ත ‘ඒ’ පිල ශ්‍රී ලංකාවේ

ඇඹුල්දෙණිය හමුවීමේ අභියෝගය

editorial - 2023 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

මෑතකදී හොඳ පන්දු යැවීමේ රිද්මයකට පැමිණ සිටින ලසිත් ඇඹුල්දෙණිය, ගාල්ල  ක්‍රීඩාංගණයේදී හමුවීම එංගලන්ත ලයන්ස් පිලේ අභියෝගය වී තිබේ. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නවතම රටාව වන ඉවක් බවක් නැතිව පහර දීම හෙවත් ‘බස්බෝල්’ ක්‍රිකට් ක්‍රීඩාව ගාල්ල ක්‍රීඩාංගණයේදී කොයි තරම් දුරට සාර්ථක වන්නේද යන්න මේ සතියේදී ඔවුනට දැකගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ වමත් දඟ පන්දු යවන්නා වුවද පසුගිය වසරේදී මුහුණ දුන් අසාර්ථක සමය හේතුවෙන් ඇඹුල්දෙණියට සිය ස්ථානය අහිමි වී තිබිණ. එහෙත් පසුගියදා පැවැති ජාතික සුපර් ලීග් තරගාවලියේ ආරම්භක තරගයේදීම ලකුණු 86 කට කඩුලු 10 ක් දවාගනිමින් මහනුවර  කණ්ඩායම ජයග්‍රහණ දෙකක් කරා කැඳවාගෙන ගිය ලසිත් ඇඹුල්දෙණිය, තමන් වෙතින් ගිළිහී ගිය ජාතික කණ්ඩායමේ ස්ථානය නැවතත් සොයමින් පසුවෙයි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර, තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු වැන්න හෙට (31 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙපිලේම ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටින බැවින් ද, තරග දෙකම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් ද, මෙම තරගාලිය ඉතාමත් තරගකාරී ස්වභාවයක් ගනු ඇත.

තවත් ආකාරයකින් කිවහොත්, එය ‘බස්බෝල්’ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩයිම් පරීක්‍ෂණයක් වනු ඇත.

ගාල්ල ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයකි. මේ දිනවල පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේ ආරම්භක තරගයේදීම ලකුණු 86 කට කඩුලු 10 ක් දවාගත් මහනුවර පිලේ ලසිත් ඇඹුල්දෙණිය, දෙවැනි සතියේදී මහනුවර පිල වෙනුවෙන් ක්‍රීඩා නොකළේය. එහෙත් හෙට තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුව තෝරා ගනු ඇත.

එංගලන්ත ලයන්ස් පිලේ නම් දරාපු ටෙස්ට් පිතිකරුවන් වන ඇලෙක්ස් ලීස් සහ හසීබ් හමීඩ් වැන්නන් ගාල්ල ක්‍රීඩාංගණයේදී ලසිත් ඇඹුල්දෙණිය හමුවන අකාරය මත, මෙම තරගාවලියේදී දෙපිලේම ඉදිරිගමන තීරණය වනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පිතිකරුවන්ගෙන් ගහණය. පුහුණුකරු අවිශ්ක ප්‍රනාන්දු මහතාගේ උපදේශය වන්නේ ද රතු පන්දුවෙන් ක්‍රීඩා කරන හෙයින් වඩාත් සුබවාදී ස්ථාවරයක සිටිමින් ක්‍රීඩා කළ යුතු බවයි.

“ක්‍රිකට් ක්‍රීඩාවේ නිපුණතා දියුණු කරගැනීමට නම් රතු පන්දුවෙන් ක්‍රීඩා කරන්න ඕනේ....සුදු පන්දුවෙන් ක්‍රීඩා කරද්දී ඕවර 20 කින්... නැත්නම් ඕවර 50 ක් යද්දී සේරම ඉවරයි....”
“ඉනිම ආරම්භයේදී නව පන්දුවට මුහුණ දෙන්නේ කොහොමද, ඒ වෙලාවේදී පන්දු යවන්නේ කොහොමද...., පන්දුව ඕවර 25 ක් 30 ක් පරණ වුණාම, සැලැස්මක් ඇතිව පිතිකරුවා මුළාවේ දමාගන්නේ කොහොමද, ඒ මුළාවේ නොවැටී ලකුණු ලබාගන්නේ කොහොමද,.... පන්දුව ඕවර 50 ක් විතර පරණ වුණාම පන්දුවේ නොපිට දෝලනය භාවිතා කරන්නේ කොහොමද, පිතිකරුවන් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද,.... මේ වගේ දේවල් ඉගෙන ගන්න රතු පන්දුවෙන් කරන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ මිසක් වෙන තැනක් නෑ....”

“අනෙක් කාරණාව තමයි, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේදී සාර්ථක වෙන්න නම් හොඳ ඉවසීමක් වගේම පිතිකරු තාක්‍ෂණයේදී හොඳ ආරක්‍ෂාවකුත් තියෙන්න ඕනා. අන්තර්ජාතික මට්ටමේ පන්දු යවන්නන් හමුවේ ඒ වගේ දෙයක් ප්‍රගුණ කරන්න මේක හොඳ අවස්ථාවක් වුණත්, පන්දු යවන්නන්ට කරේ නගින්න නොදී, තරගයක් ජයගන්න පුළුවන් කියන මානසිකත්වයෙන් අපි තරග කරන්නත් ඕනා” යයි අවිශ්ක ගුණවර්ධන මහතා කීවේය.

දශකයකට දෙකකට ඉහතදී නම්, වසරකදී ‘ඒ’ කණ්ඩායම් අතර තරගාවලි තුනක් හෝ හතරක් පැවැත්විණ. ජාතික කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් ඉහළට එසැවුණේ ඒ කණ්ඩායම් තරග වලිනි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිය මුදල් භාවිතා කිරීමේ පරෙස්සම ඉදිරියට ගෙනෙමින් “බොහෝ වියදම් යන වැඩ” යයි කියා ‘ඒ’ කණ්ඩායම් අතර වැඩිපුර තරග අතහැර දමනු ලැබිණ.


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය
නිපුන් ධනංජය (නායක), ලසිත් කෲස්පුල්ලේ, අම්ෂි ද සිල්වා, නිශාන් මධුෂ්ක, මිලාන් රත්නායක, ළහිරු උදාර, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, කමිඳු මෙන්ඩිස්, චමිඳු විජේසිංහ, සහන් ආරච්චිගේ, ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, සුමින්ද ලක්ෂාන්, ෂෙවොන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ, නිවනිඳු ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත

ශ්‍රී ලංකා ‘ඒ’ කාර්ය මණ්ඩලය :
විනෝදන් ජෝන් (කළමණාකරු), අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු), තිළිණ කණ්ඩම්බි (පිතිහරඹ පුහුණුකරු), සජීව වීරකෝන් (පන්ද යැවීමේ පුහුණුකරු) සහ ඇන්ටන් රූක්ස් (පන්දු රැකීමෙ පුහුණුකරු)

එංගලන්ත ලයන්ස් සංචිතය
හසීබ් හමීඩ් (නායක), ඇලෙක්ස් ලීස්, ටොම් හේන්ස්, ටොම් ඇබෙල්, ජොෂ් බොහානන්, ලින්ඩන් ජේම්ස්, ජැක් හයින්ස්, ජැමී ස්මිත්, ඔලී රොබින්සන්, සෑම් කුක්, ජැක් කාසන්, ජොෂ් ටොන්ග්, නේතන් ගිල්ක්‍රිස්ට්, ලයාම් පැටින්සන්-වයිට්, මැතිව් ෆිෂර්, ටොම් හාට්ලි සහ සකීබ් මොහොමඩ්

 


අදහස් (0)

ඇඹුල්දෙණිය හමුවීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.