Last Update  :  2025-09-13 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අර්ථික අවපාතය නිසා ජයග්‍රාහකයන්ට පදක්කම් නෑ

අර්ථික අවපාතය නිසා ජයග්‍රාහකයන්ට පදක්කම් නෑ

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව පවතින අධික උද්ධමනය හා ආර්ථික අවපාතය හමුවේ පදක්කම් සඳහා රුපියල් මිලියන 5.5 ක අධික වියදමක් දැරීමට සිදුවන බැවින් දැන් ආරම්භ වී තිබෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ  ජයග්‍රාහකයන් සඳහා පදක්කම් ප්‍රදානය කිරීම මෙම වසරට අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ආසන්නතම සිදුවීම වූයේ අනුරාධපුරයේදී පවත්වා අවසන් කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලියේ ඉසව් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මෙතෙක් ප්‍රදානය කළ රන්, රිදී හා ලෝකඩ පදක්කම් එසේ ප්‍රදානය නොවීමයි.

එහිදී ඔවුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමක්ද ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිදුනොවීම කැපී පෙනුණි. කෙසේ වුවත් ඒ වෙනුවට තරග සංවිධායකයන් විසින් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනා සඳහා පදක්කම් මුද්‍රණය කළ සිහිවටනයක් හා මල් කළඹක් බැගින් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබුණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (2022) උළෙලේ වියදම් සඳහා එක් අවස්ථාවකදී අනුමත වී ඇත්තේ රුපියල් මිලියනයක් පමණි. එහෙත් එය පසුව මිලියන 30ක් දක්වා ඉහළ නංවා ඇත්තේ වෙනත් වසරවලදී සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල බරපැන සඳහා අවම රුපියල් මිලියන 81ක් පමණ අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කෙරෙන පසුබිමක් තුළදීය.

මෙම තත්ත්වයන් පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට මෙසේ පැවසීය.

“රටේ දැන් පවතින තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. මේ අනුමත කරලා තිබෙන පිරිවැයත් එක්ක අපිට වියදම් දැඩි ලෙස පාලනය කරන්න වෙලා තිබෙනවා. ඒත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ඉසව් සඳහා සහභාගි වන සිසු සිසුවියන්ට ආහාරපාන ඇතුළු මූලික අවශ්‍යතා සපයන්න අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් කටයුතු කරනවා.“

“මෙදා ක්‍රීඩා උළෙලේ පදක්කම් පිරිවැයට විතරක් රුපියල් ලක්ෂ 55ක් යනවා. ඒත් ක්‍රීඩා උළෙලේ මුළු වියදම් සඳහා ලැබී තිබෙන්නෙත් රුපියල් මිලියන හතරක් විතරයි. ඒ නිසා පදක්කම් කෙසේ වෙතත් සහතික පත්‍ර ලබාදීම අපි දිගටම කරනවා. අනුරාධපුරයේදී පැවති පාපැදි තරගාවලියේ ජයග්‍රාහකයන්ටත් ඒ අනුව අපි ඉදිරියේදී සහතිකපත්‍ර මුද්‍රණය කර ලබාදෙනවා.”

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ වී ඇත්තේ වසර දෙකකට පසුවය. වසර 2020 හා 2021 යන වසරවලදී කොවිඩ් වසංගතය හමුවේ ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් මෙරට පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා කුසලතාවලට වසර දෙකක්ම වටිනාකමක් නොලැබුණි.


අදහස් (0)

අර්ථික අවපාතය නිසා ජයග්‍රාහකයන්ට පදක්කම් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.