
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපතිධුරයට ඉදිරිපත්වීම සඳහා ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගෙන් තමන්ට ලැබී තිබෙන ඇරියුම පිළිබඳව සළකා බැලීමට සූදානම් බව හිටපු ඇමැතිවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පවසයි. කෙසේ වූවත් තමන් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නේ එල්ලේ ප්‍රවීණයන් සමග ඉදිරියේ දී පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව එළැඹෙන කරුණු මත පදනම්ව බවත් එහිදී අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඒ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදීය.
වැඩිදුරටත් ඔහු පැවසුවේ දේශීය ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට තමාට රට තුළ ඉඩක් නොමැති බව තහවුරු වී තිබෙන බැවින් තවදුරටත් ඒ පිළිබඳව කාලය නාස්ති නොකරමින් රටේ දුප්පතුන්ගේ ක්‍රීඩාවක් වෙනුවෙන් උදව් කිරීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.
මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරන්න මා මෙතෙක් දැරූ සියලු උත්සහයන් අසාර්ථක වුණා. ජනාධිපතිවරුන් ගණනාවක් ළඟට ගිහින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් බේරා ගන්නා ලෙස මම ඉල්ලීම් කළා. නමුත් ඒ කිසිදු ජනාධිපතිවරයෙක් මට ඇහුම් කන් දෙන්න උනන්දුවක් ගත්තෙ නෑ වගේම ඔවුන්ටත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න උනන්දුවක් තිබ්බේ නෑ.
ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා එකම ක්‍රිකට් නායකයා මා වුණත් දූෂිතයන් මට ක්‍රිකට් පරිපාලනයට එන්න දෙන්නෙ නෑ. ඔවුන්ගේ මාෆියාව ඒ තරම් රටේ ප්‍රබලයි. මෙහෙම තත්ත්වයක් උඩ මේ රටෙන්ම බිහිවුණු එල්ලේ වැනි දුප්පතුන්ගේ ක්‍රීඩාවක පරිපාලනයට එන්න මට අවස්ථාවක් ලැබුණොත් මම ඒක සතුටින් බාර ගන්නවා’ යැයි ද රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා මීට පෙර ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ එල්ලේ තරග නීතිරීති සංශෝධන විශේෂ ත්‍රිපුද්ගල එල්ලේ කමිටුවක ද කටයුතු කළේය. එල්ලේ ප්‍රවීණයෙකු වන සිරිපාල රණසිංහ හා හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන ගයිද අල්විස් යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.
ක්‍රිකට් ක්‍රීඩාවට සමාන්තරව එල්ලේ ක්‍රීඩාවේ තරග නීතිරීති වත්මන් යුගයට සරිලන ආකාරයෙන් සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව එම කමිටුව එහිදී කරුණු අධ්‍යයනය කර තිබිණ.
වර්ෂ 1962දී ආරම්භ කරන ලද එල්ලේ සම්මේලනයේ සභාපතිවරු ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැතිවරුන් වන ජෝශප් මයිකල් පෙරේරා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න යන මහත්වරුන් කටයුතු කළහ.
එල්ලේ සම්මේලනයේ වත්මන් ලේකම් සිරිල් පෙරේරා මහතාගෙන් කළ විමසුමක දී පැවසුවේ ලබන අගෝස්තු 31 වැනිදාට පෙර එල්ලේ සම්මේලනයේ නිලවරණය පවත්වා අවසන් කළ යුතු වූවත් අගෝස්තු 5 වැනිදාට යෙදී තිබෙන මහ මැතිවරණය හේතුවෙන් මේ වනවිට අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පවත්වා අවසන් කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී තිබෙන බවයි.
එල්ලේ නිලවරණය මෙහෙයවීම සඳහා මේ වනවිටත් විශ්‍රාමලත් කම්කරු කොමසාරිස්වරයෙකු වන නන්දසේන විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් පුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.
එල්ලේ ක්‍රීඩාව කියන්නෙ මම බොහෝ ඇලුම් කරන ක්‍රීඩාවක්. මගේ තාත්තා වන හිටපු ඇමැති අභාවප්‍රාප්ත රෙජි රණතුංග මහතාත් එල්ලේ ක්‍රීඩාවට බොහෝ සේ ප්‍රිය කළ පුද්ගලයෙක්. එල්ලේ සම්මේලනයට මට සේවය කරන්න පුළුවන් වන තෘප්තිමත් තැනක් ද කියලා මම තීරණය කරන්නේ එල්ලේ ක්‍රීඩා සමාජ, ප්‍රවීණයන් සමග කෙරෙන සාකච්ඡාවේ සාර්ථකත්වය මතයි. අර්ජුන රණතුංග මහතා අවසන් වශයෙන් ‘ලංකාදීප’යට පැවසීය.
එල්ලේ සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම තරගාවලිය වන ජාතික ශුරතා තරගාවලියේ වසර 2018ට නියමිත තරගාවලියේ අවසන් මහ තරගය ද මෙතෙක් පවත්වා අවසන් වී නොමැත.
මේ අතර වත්මන් සභාපති සහන් ප්‍රදීප් මහතා මෙවරත් සභාපති ධුරය සඳහා නාමයෝජනා බාර දෙන බවද ප්‍රකාශ කර තිබේ.
Jaya Wednesday, 17 June 2020 01:35 PM
මේ තරම් ලෝක ක්‍රිකට් නායකයෙක් මෑත ඉතිහාසයේම නැතිව ඇති..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.