Last Update  :  2026-01-29 22:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story 16 දෙනාගෙන් සෙල්ලම් කිරීමේ අභියෝගයක්
විස්සයි-20 තරගාවලිය

16 දෙනාගෙන් සෙල්ලම් කිරීමේ අභියෝගයක්

editorial - 2026 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට) 

ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී එංගලන්තය සමගින් විස්සයි-20 තරගාවලියකට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම අලුත්ම තාලේ පීඩනයකට ලක්වී සිටී. එනම් සංචිතයේ සිටින 16 දෙනාගෙන් තරගාවලියම ක්‍රීඩා කිරීමට සිදුවීමයි. 

සංචිතයකට ක්‍රීඩකයන් 15 ක් හෝ 16 ක් නම් කිරීමෙන් පසුව තරගාවලිය අතර මැදදී අසාර්ථක වන ක්‍රීඩකයන් ඉවත් කර වෙනත් ක්‍රීඩකයන් ආදේශ කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරුද්ද වී තිබිණ. එහෙත් මෙවර තරගාවලියේදී එම පහසුකම නොලැබෙන තත්ත්වයත් උදා වී තිබේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ක්‍රීඩකයන් 15 දෙනා නම් කිරීමේ අවසන් දිනය මේ මස 31 වැනිදාට යෙදී තිබීම හේතුවෙන් තව තවත් කල්බලමින් සිටීමට අවස්ථාවක් නැත. 

“මෙන්න 16 දෙනා. මේ 16 දෙනාගෙන් එංගලන්ත තරගාවලිය සෙල්ලම් කරන්න.”

“ලෝක කුසලාන තරගාවලියට යන්නේ ඔතන ඉන්න 16 දෙනාගෙන් 15 යි” යන්න තේරීම් කමිටුවේ තීරණය වී තිබේ. 

මෙම තත්ත්වය අනුව විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හසුරුවා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද උපයෝගී කරගැනීමට නායකයාට සිදුවී තිබේ. කුසල් ජනිත්ට අවස්ථාව දීම එකකි. ඔහු අසාර්ථක වුවහොත් ඒ වෙනුවෙන් යොදාගැනීමට සිදුවන විකල්පය තෝරා ගැනීම තවත් අභියෝගයකි. 

පසුගිය වසර පුරාම විස්සයි-20 තරග වලදී එකම ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා සිය අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරග 5 දීම ලබාගත්තේ ලකුණු 36 කි. එනිසාම මේ මස මුල් සතියේ දඹුල්ලේදී පැවති විස්සයි-20 තරගාවලිය ඔහුට මඟහැරිණ. 

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී කුසල් ජනිත්ට අවස්ථාව හිමිවී ඇත්තේ ඔහු විස්සයි-20 තරග සඳහා පළපුරුදු ක්‍රීඩකයකු වන බැවිනි. 

“විස්සයි-20 කණ්ඩායමේ කුසල් ජනිත් දිගටම හිටියා. පසුගිය පාකිස්තානු තරගාවලියෙදි ඔහුට අවස්ථාවක් දෙන්න අපට පුළුවන් කමක් ලැබුණේ නෑ . නමුත් ලෝක කුසලාන තරගාවලියකදි පළපුරුදු ක්‍රීඩකයන්ගේ වැදගත්කම අපි දන්නවා” යයි කී ශ්‍රී ලංකා නායකයා.. 

“ඇත්තටම පන්දුවට පහර දීමේ වේගය (132.87) ගත්තොත්, ඒ ගැනම හිතලා, අංක 5 හෝ 6 ස්ථාන දක්වාම අපට කුසල් ජනිත්ව යොදවාගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා ඔහුව මේ තරගාවලියෙදි ඉතාමත් වැදගත් වේවි කියලා” යයි අද (29 වැනිදා) සවස පල්ලෙකැළේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී දසුන් ශානක පැවසීය. 

ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ තිබෙන බැවින් දුෂ්මන්ත චමීර පරෙස්සම් කරගනිමින්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ වැඩි බරකට කරගැසීමට ප්‍රමෝද් මධුෂාන්ට සිදුවී තිබේ. 

“ අපිට කොයි වෙලාවේ හරි තරුණයෙක් දිහා බලන්න වෙනවා. කමිල් මිෂාරට අවස්ථාවක් දුන්නා. එයාට දුන්න අවස්ථාවෙදි එයා හොඳට සෙල්ලම් කළා. ඒත් කුසල් මෙන්ඩිස් සහ පැතුම් දෙන්නා ගත්තාම එයාලත් ආරම්භක පිතිකරු ස්ථානයේදී හොඳටම සෙල්ලම් කළා. නමුත් සමහර ක්‍රීඩකයන්ව එක් එක් තැන්වලට යොදාගෙන බලන්න වෙනවා” යයි නායකයා කියයි. 

අනෙක් අතට කුසල් ජනිත් පෙරේරාත් කණ්ඩායමේ සිටින බැවින් ආරම්භක පිතිකරුවන්ගේ සංයුතිය නැවත වරක් වෙසන් වීමේ අවස්ථාවක් නැතුවාම නොවේ. 

 


අදහස් (0)

16 දෙනාගෙන් සෙල්ලම් කිරීමේ අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.